hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 20, පෙ.ව. 5:09



රටට බත සපයන ගොවියාට අවශ්‍ය පහසුකම් සැලසීම බලධාරීන් කටයුතු නොකිරීම නිසා ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

ගොවීන් පවසන්නේ රසායනික පොහොර නොමැතිව ජලය නිකුත් කිරීමෙන් ඵලක් නොමැති බවයි.

මැදිරිගිරිය කවුඩුල්ල ගොවි ව්‍යාපාරය යටතේ ගොවි පවුල් 8,000ක් පමණ සිය වගා කටයුතු සඳහා කවුඩුල්ල පමණ අස්වද්දනු ලබනවා.

සාමාන්‍යයෙන් අප්‍රේල් සහ මැයි මාසය යනු එලෙස ජලය නිකුත් කෙරෙන කාලසීමාවයි.

කවුඩුල්ල වැවෙන් ජලය නිකුත් කිරීම සාම්ප්‍රදායිකව සිදු කිරීමට පසුගියදා වාරි නිලධාරීන් පැමිණිය ද ඊට ප්‍රදේශවාසීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ එම කටයුත්ත අතරමඟ නවතා දමා පිටත්ව යාමට ඔවුන්ට සිදු වුණා.

එහිදී ගොවි සංවිධාන නියෝජිතයින් සඳහන් කළේ රසායනික පොහොර නොමැතිව ලැබෙන ජලයෙන් පළක් නොමැති බවයි.

පසුව වාරි නිලධාරීන් උපදෙස් දී ඇත්තේ පොලිස් ආරක්ෂාව යටතේ හෝ ජලය නිකුත් කිරීමට කටයුතු කරන ලෙසයි.

පවතින ඉන්ධන අර්බුදයේ හමුවේ යල කන්නයට නියමිත වගා කටයුතු ආරම්භ කිරීමට මේ වන විටත් නොහැකි වී ඇති බවද ගොවීන් පවසනවා.

ඔවුන් පවසන්නේ, ජලාශ වලින් නිකුත් කෙරන ජලය අපතේ යමින් පවතින බවයි.

අනුරාධපුරයේ ගොවීන් ද පවසන්නේ ජලය නිකුත් කෙරුණද පොහොර නොමැතිව වගා කටයුතු ආරම්භ නොකරන බවයි.

ගොවිතැන් කටයුතු ආරම්භ කර ඇති ගොවීන්ද පවසන්නේ පොහොර නොමැතිව සිදු කරන ගොවිතැනෙක් පලක් නොමැති බවයි.

මේ අතර පොහොර මිටියක් රුපියල් 10,000 ලබා දිය යුතුයැයි පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත් පත්කළ කමිටුව රජයට නිර්දේශ කර තිබෙනවා.

පොහොර ප්‍රශ්නය විසඳීම සඳහා පත් කෙරුණු කමිටුවේ සභාපති අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ මේ වන විට රුපියල් 30,000ක් 35,000ක් වැනි අධික මිලකට පොහොර මිටිය අලෙවි වන බව ද මෙම තත්වය යටතේ ගොවීන්ට වගා කටයුතු කර ගැනීමට නොහැකි වනු ඇති බවයි.

මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් ඉදිරියේදී ජනතාව වගාවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීමෙන් රටේ ආහාර හිඟයක් ඇතිවීමට හැකියාව තිබෙන බැවින් අඩු මිලට පොහොර ලබා දීමට කඩිනමින් කටයුතු කළ යුතු බව කමිටුව නිර්දේශ කළ බවද අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළා.

එමෙන්ම අනෙක් සියලු වැඩ නතර කර හෝ කුඹුරු ටික හා ගැනීම සඳහා ට්‍රැක්ටර් වලට ඉන්ධන ලබා දුන්නේ නැතොත් සියලුම දෙනාට කන්න නැතුව මැරෙන්නට සිදු වනු ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

සියලුදේට පෙර ගොවීන්ගේ ධීවරයන්ගේ මෙන්ම කර්මාන්ත කරුවන්ගේ ඉන්ධන ගැටළු විසඳිය යුතුව ඇති බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළා.