hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මැයි 10, පෙ.ව. 1:07



පසුගිය වසර වල් වලට වඩා 2023 වසරේ ගතවූ මාස කිහිපය තුළ පමණක් මී උණ රෝගීන් 2,800 දෙනෙක් මෙරටින් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රකාශ කරනවා.

ඒ, අනුව උණ තත්ත්වයක් හෝ මී උණ රෝග ලක්ෂණ ඇත්නම් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා ලෙසයි එම සංගමයේ වෛද්‍යවරුන් ජනතාවට දැනුම් දෙන්නේ.

මේ සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා අංශයේ, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය තුෂානි දාබරේ මහත්මිය අදහස් දැක් වූයේ මෙලෙසින්,

“මේ රෝගය බෝ කිරීමට ඉවහල් වෙන්නේ මීයන්ගේ ශරීරයේ මේ බැක්ටීරියාව හුඟාක් වෙලාවට පවතිනවා. මීයන්ගේ මුත්‍රා මගින් අපවිත්‍ර ජලයට මේ බැක්ටීරියාව මුසුවෙන්න පුළුවන්. මේ විදියට තමා මිනිසාගේ ශරීරයට Leptospirosis කියන බැක්ටීරියාව ඇතුළු වෙන්නේ. කුඹූරු, සමහර දිය කඩිති, ඇළ මාර්ග වගේ තැන්වලින් මී උණ රෝගීන් වාර්තා වෙනවා. අපේ රටේ රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන්නේ මාර්තු සිට මැයි දක්වා. ඒ එක්කම සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා මේ රෝගීන් වැඩිවෙනවා. ඒ වෙන්නේ අපේ කුඹුරු ගොවිතැන් සිදුකරන්නේ යල කන්නයේ සහ මහ කන්නයේ. ඒ අතරේ අපිට වැසි ලැබෙනවා. සමහර වෙලාවට ගංවතුර එනවා. එහෙම වුණොත් මේ රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරනවා.”

එමෙන්ම මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ මහාචාර්ය පණ්ඩුක කරුණානායක මහතා පවසා සිටියේ මෙහි ප්‍රධානතම රෝග ලක්ෂණය උණ රෝගය බවයි.

“උණ එක පාරට වරුවෙන් දෙකෙන් ඉතාම ඉහළ මට්ටමකට නැගලා එන රෝගයක්. උදේ වරුවේ හොඳට ඉඳලා දවල් වෙනකොට උණ පටන් අරන් හැන්දෑ වෙද්දි හරිම අමාරු වෙනවා. ඊට පස්සේ අධික ඇඟපත රුදාව. ඔළුවේ කැක්කුම, කෑම අරුචිය, වමනය වගේ රෝග ලක්ෂණ එක්තරා ප්‍රමාණයකට ඇස් කහ වීම එනවා. ඇහැ රතුවීමත් වෙනවා. ඇහැ කහ වුණේ නෑ, රතු වුණේ නෑ කියලා මේක Leptospirosis නෙමෙයි කියලා හිතන්න එපා. ඊට පස්සේ නොයෙකුත් අවයවවලට බලපාලා සංකූලතා ඇති වෙනවා. හෘදයට, පෙනහළුවලට හෝ වකුගඩුවලට වෙන්න පුළුවන්. ඒවායින් මරණයට පත්වෙන්න පුළුවන්. ඉක්මනින්ම රෝහලට ආවොත් ඉක්මනින්ම බෙහෙත් පටන් ගත්තොත් අපිට ඒ සංකූලතා මඟහැරලා ජීවිත ගණනාවක් බේරගන්න පුළුවන්.

ගෙවුණු මාස 5 ඇතුළත රෝගීන් 2,800ක් වාර්තා වෙලා තියෙනවා. පහුගිය අවුරුදුවල සාමාන්‍යයෙන් රෝගීන් 6‍,000 – 8,000 වගේ වාර්තා වුණා. මරණ තාම විමර්ශන මට්ටමේ පවතිනවා.”