hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 16, ප.ව. 2:54



ඉකුත් සිකුරාදා (12) බාදුරාගොඩ සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලේදී මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරිනියකට බැන තර්ජනය කර පහර  දුන් බවට චෝදනා ලැබ සිටින තරංග ජයසිංහ  නමැති පොදුජන එක්සත් පෙරමුණු මන්ත්‍රීවරයා ඊයේ (15) පොලිසියට බාර වී තිබෙනවා.

අදාළ නිලධාරිනිය ඒ වන විට ඉන්ධන පිරවුම් හලේ QR කේත පරික්ෂා කරමින් රාජකාරියෙහි නිරතව සිට තිබෙනවා. 

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙහි නිලධාරීහු ඊයේ (15) උද්ඝෝෂණයක ද නිරත වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඒ අතර වාරයේ සැකකාර තරංග ජයසිංහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පල්ලෙවෙල පොලිසියට භාර වී තිබෙනවා.

ඔහු දිවුලපිටිය  ප්‍රාදේශීය සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරයෙක්. 

ඉන් අනතුරුව ඊයේ සවස ඔහු අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.

බැකෝ යන්ත්‍රයකට බව කියා ඉන්ධන ඉල්ලා සිටි මෙම මන්ත්‍රීවරයාට එසේ ඉන්ධන ලබා දීමට ක්‍රමවේදයක් නොමැති බව තමා පහදා දුන් බව අදාළ සංවර්ධන නිලධාරිනිය ඒෂියන් මිරර් වෙත ප්‍රකාශ කළා.

ඔහු මන්ත්‍රීවරයෙකු බව තමා නොදැන සිටි බැවින් දිස්ත්‍රික් ලේකම්වරයා දුරකථනයෙන් අමතා ඔහුගේ අවශ්‍යතාවය සඳහන් කර උපදෙස් පැතූ බව ද බව ද එම නිලධාරිනිය ප්‍රකාශ කළා.

තමා උත්සාහ කළේ ඔහුට උපකාර කිරීමට බවද ඇය වැඩිදුරටත් පැවසුවා.

මන්ත්‍රීවරයා රාජකාරියේ සිටි තමාට ඉතා අසභ්‍ය ලෙස පරුෂ වචනයෙන් බැන වැදුණු බව ද ඇය ඒෂියන් මිරර් වෙත ප්‍රකාශ කළා.

මෙම මන්ත්‍රීවරයා දිගින් දිගටම විවිධ පුද්ගලයන් සමග ගැටුම් ඇති කර ගන්නා බවට ප්‍රදේශවාසීහු චෝදනා කරනවා. 

මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු ඇප මත නිදහස් කර තිබෙනවා.

ගම්පහ – චම්පිකා මුතුකුඩ