hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 18, පෙ.ව. 11:28



අඹේවෙල සිට තලවකැලේ, කොත්මලේ ජලාශය දක්වා ජලය ගෙනයන කොත්මලා ඔයේ මියගොස් ඇති මසුන් ආහාර සඳහා නොගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඔය දෙපස පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

අඹේවෙල සිට මෙරායා, ඇල්ජින් අගරකන්ද දක්වා කිලෝමිටර් 12ක් පමණ දුරට ගඟේ වෙසෙන මසුන් අබිරහස් ලෙස මියයන බවත්, එසේ මියයන මසුන් ඔය දෙපස පදිංචි වතු කම්කරුවන් සහ ප්‍රදේශවාසීන් විසින් රැගෙන යන බවත්, එසේ රැගෙන යන මසුන් ආහාර සඳහා භාවිත නොකරන ලෙසත් නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිශ්ශංක විජේවර්ධන ජනතාවගෙන් ඉල්ලා සිටියා.

තවද කොත්මලා ඔයේ මසුන් හදිසියේ මියයෑම සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කරන ලෙසට ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් එම ප්‍රදේශයට යවා ඇති බවද ඔහු සඳහන් කළා.

අඹේවෙල සිට තලවකැලේ ඉහළ කොත්මලේ ජලාශය දක්වා කිලෝමීටර් 40ක් පමණ දුරට ජලය ගලා බසින බවත්, කොත්මලා ඔයේ ජලය කළු පැහැයෙන් ගලා බසින නිසා තවදුරටත් ඉහළ කොත්මලේ ජලාශය දක්වා මසුන් මියයෑමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව ඔය දෙපස පදිංචිකරුවන් විමසිල්ලෙන් සිටින ලෙසත්, පවත්නා තත්ත්වය මත කොත්මලා ඔයේ ජලය භාවිතයට නොගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.