hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 05, පෙ.ව. 12:02



ගංවතුර තත්ත්වයන් පවතින ප්‍රදේශවල ජනතාව සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

දරුවන් ගංවතුරට නිරාවරණය වීම හැකිතාක් වළක්වන ලෙසත් ගංවතුර ජලයේ ඇවිදීම හෝ පිහිනීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාව දැනුම් දෙනවා.

එසේම, ගංවතුර හරහා ගමන් කරනවිට ලෙප්ටෝස්පයිරෝසිස් හෙවත් මී උණ වැනි ආසාදන වැලැක්වීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම රබර් බූට් සහ අත්වැසුම් පැළඳීමට හැකිතාක් උත්සාහ කරන ලෙසද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන්.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාව පහතින්,

නොකළයුතු දේ:

1. ගංවතුර ජලයෙන් හැකිතාක් වළකින්න: ගංවතුර ජලයේ ඇවිදීම හෝ පිහිනීම නොකළ යුතුය. එහි හානිකර බැක්ටීරියා සහ තුවාල ඇති කළ හැකි සුන්බුන් අඩංගු විය හැක.

2. ගංවතුරෙන් හානියට පත් ආහාර අනුභව නොකරන්න: ගංවතුරෙන් යටවුණු ්‍රදේශවල ඇති පලා වර්ග අනුභවය සහ ගංවතුරෙන් යටවූ ආහාර ඉවත දමන්න.

3. දරුවන් ගංවතුරට නිරාවරණය වීම හැකිතාක් වලක්වන්න: රෝග වැළැක්වීම සඳහා දරුවන් සහ සුරතල් සතුන් දූෂිත ජලයෙන් ඈත් කරන්න.

4. රෝග ලක්ෂණ නොසලකා හරින්න එපා: ඔබට අසනීප බවක් දැනේ නම්, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ප්‍රමාද නොකරන්න.

5. අපිරිසිදු ජලය භාවිතා කිරීමෙන් වළකින්න: බීමට, ආහාර පිසීමට හෝ නෑමට ගංවතුර ජලය භාවිතා නොකරන්න.

අනුගමනය කළයුතු දේ:

1. සුරක්ෂිත ජලය පමණක් පානය කරන්න: ජලයෙන් බෝවන රෝග වළක්වා ගැනීම සඳහා අවම වශයෙන් විනාඩි 1 ක් වත් නටවා නිවාගත් ජලය හෝ බෝතල් කළ ජලය භාවිතා කරන්න. ගංවතුරෙන් යටවුනු  ලිං වලින් ජලය භාවිතා කිරීම හැකිතාක් අවම කරන්න.

2. දැනුවත්ව සිටින්න: දේශීය පුවත් සහ කාලගුණ අනාවැකි සමඟ යාවත්කාලීනව සිටින්න.

3. මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කිරීම: ගංවතුර ජලයෙන් මදුරුවන් බෝවීම වැඩි විය හැක. එම නිසා තමන්ගේ නිවස අවට ජලය එකතු වී තිබිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කරන්න.

4. ආරක්ෂිත ඇඳුම් අඳින්න: ගංවතුර හරහා ගමන් කරන විට ලෙප්ටෝස්පයිරෝසිස්  හෙවත් මී උණ වැනි ආසාදන වැලැක්වීම සඳහා හැකි සෑම අවස්ථාවකදීම රබර් බූට් සහ අත්වැසුම් පැළඳීමට උත්සාහ කරන්න.

5. ආහාර සුරක්ෂිතව ගබඩා කරන්න: ආහාර අපිරිසිදු වීම වැළැක්වීම සඳහා ආහාර ජලගැලීම් වලට හසු නොවන ස්ථානවල ගබඩා කිරීම හෝ ජලය කාන්දු නොවන බහාලුම්වල ආහාර ගබඩා කර තබා ගන්න.

6. අත් සෝදන්න: විශේෂයෙන් ආහාර ගැනීමට හෝ ආහාර පිළියෙළ කිරීමට පෙර සබන් යොදා නිතරම අත් සෝදන්න.

7. වෛද්‍ය උපදෙස් වෙත යොමු වන්න: ඔබ හෝ පවුලේ සාමාජිකයෙකු අසනීප වීමේ ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ළඟම ඇති රජයේ රෝහල වෙත යන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: