hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 30, පෙ.ව. 6:21



ආහාර සපයාගත නොහැකිව, ඌන පෝෂණ තත්වය හේතුවෙන් පුද්ගලයන් 40,000ක් රෝහල්ගතව සේලයින් ලබාගන්නා බව වාර්තා වනවා.

මේ පිළිබඳ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති කමිටුවේ සභාපති ආචාර්ය සුරේන් බටගොඩ මහතා කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාට දැනුම්දී තිබෙනවා.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, අමාත්‍යාංශ ලේකම් ඇතුළු නිලධාරීන් සමග ආචාර්ය සුරේන් බටගොඩ කියා සිටියේ මෙරට ආහාර සුරක්ෂිතතාව පිළිබඳව වහා අවධානය යොමු නොකළහොත් 2023 වසරේදී බරපතළ අර්බුදයක් උද්ගත විය හැකි බවයි.

මෙරට පවුල් ලක්ෂයක් ඌන පෝෂණ තත්ත්වයෙන් පෙළෙන බවත් පවුල් 75,000 ක් දවසේ ආහාර වේලක් සොයාගැනීමට නොහැකිව සිටින බවද ආචාර්යවරයා ඇමැතිවරයා ට පවසා ඇතැයි වාර්තා වනවා.

රටේ මෙවැනි තත්ත්වයක් උද්ගතවීමට මූලික හේතුව පසුගිය කන්න දෙකක් අසාර්ථක වීමත්, වී වගාව ඇතුළු වගා කටයුතු සඳහා රසායනික පොහොර නොලැබීම බවද සුරේන් බටගොඩ මහතා පෙන්වා දෙනවා.

රට තුළ සත්ව නිෂ්පාදනය පහත වැටී තිබෙන බවත් දියර කිරි නිෂ්පාදනය සියයට 19.8 කින්ද, කුකුළු මස් නිෂ්පාදනය සියයට 12.1 කින්ද, බිත්තර නිෂ්පාදනය සියයට 34.9 කින්ද පහළ වැටී ඇති බවත් එහිදී ඇමැතිවරයා පෙන්වා දී තිබෙනවා.

මේ තත්ත්වය දිගටම පැවතියහොත් ලබන වසරේදී බිත්තර නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම කඩාවැටෙනු ඇතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කරනවා.

රජයේ ඉදිරි කාලයේදී ආහාර නිෂ්පාදනයට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දැනුම්දී තිබෙනවා.

මෙරට ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය, බඩ ඉරිඟු ඇතුළු සත්ව ආහාර නිෂ්පාදන කටයුතු සඳහා ඩොලර් මිලියන 900 ක අවශ්‍යතාව පවතින බවට ගණන් බලා තිබෙන බවයි වාර්තා වන්නේ.