hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 මාර්තු 11, පෙ.ව. 6:46



ශ්‍රී  ලංකාවේ පවුල් ලක්ෂ පනස් පහෙන් ලක්‍ෂ 37කට ආහාර නැතැයි පවසන බව ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් ආර්. බටගොඩ මහතා සඳහන් කළා.

ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටුව කරන සමීක්ෂණයට එම පවුල් ආහාර අවශ්‍ය යැයි කියමින් ඉල්ලුම් පත්‍ර යොමු කර තිබෙන බවද ජනාධිපති උපදේශකවරයා පැවැසුවා.

එම පවුල්වලට ලැබෙන ආදායම අනුව ආහාර බෙදා ගැනීමේදී ගැටලුවකට මුහුණ දීමට වී ඇතැයිද හෙතෙම සඳහන් කළා.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පසුගිය 08 වනදා පැවැති කාන්තා දින සැමරුම් උත්සවය අමතමින් බටගොඩ මහතා මේ බව ප්‍රකාශ කළා.

ග්‍රාම නිලධාරි කොට්ඨාස 14,000හි රාජකාරි කිරීමට ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළුව රජයේ නිලධාරීන් 70,000ක් සිටින බව පැවැසූ හෙතෙම මෙම නිලධාරීන්ට එකතු වුවහොත් රටේ ආහාර ප්‍රශ්නය විසඳිය හැකි බව සඳහන් කර සිටියා.

දැනට ශ්‍රී  ලංකාව තුළ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 18000ක් සිටින බවත් අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් සියයට විස්සක් අඩු බර දරුවන් බවත් ආචාර්ය බටගොඩ මහතා පැවැසුවා.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් රෝහල් ගත කරන තත්ත්වයට පත් නොකර ඔවුන්ට අවශ්‍ය ආහාර ලබාදීමට හැකි සෑම අයෙක්ම ඉදිරිපත් විය යුතු බවද ඔහු කියා සිටියා.

ශ්‍රී  ලංකාවේ අල වර්ග පමණක් 50කට වඩා හා කොළ වර්ග රැසක් තිබෙන බව පැවැසූ ජනාධිපති උපදේශකවරයා පවුලක් එළවළු පැළය බැගින් සිටුවුවහොත් රටේ ආහාර ප්‍රශ්නයට විසඳුමක් ලබාගත හැකි බව ප්‍රකාශ කළා.

ආහාර නොමැති ජනතාවට ආහාර ලබාදීම වෙනුවෙන් තොරතුරු එක්රැස් කිරීමට රජය ආරම්භ කළ වැඩසටහනින් වෘත්තීය සමිති ඉවත්ව සිටීම ගැටලුවක් බවද හෙතෙම පැවැසුවා.