hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 22, ප.ව. 4:30



ප්‍රතික්‍රියක ඇතුළු අනෙකුත් පහසුකම් නොමැති වීම හේතුවෙන් රට පුරා පිහිටි ආහාර හා ජල විශ්ලේෂණ රසායනාගාර රැසක කටයුතු අඩාල වී ඇතැයි පැවැසෙනවා.

මේ හේතුවෙන් වෙළෙඳපොළේ අලෙවිය සඳහා ඇති පොල් තෙල්, එළඟිතෙල්, සෝයාමීට්, කෝමරිකා පාන, යෝගට් පාන, මස්, මාළු, බටර්, කිරි, පලතුරු බීම පාන ඇතුළු මිනිස් පරිභෝජනයට ගන්නා ආහාර හා ජලය ආදියෙහි ගුණාගුණ තත්ත්වය පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කළ නොහැකි තැනට බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුළු විශ්ලේෂණ රසායනාගාර පත්ව ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළා.

ආහාර සහ ජල සාම්පල විශ්ලේෂණය කරන රසායනාගාර බොහොමයක මාස දෙකක් තිස්සේ ප්‍රතික්‍රියක ඇතුළු අනෙකුත් පහසුකම්වල ගැටලු පැවති නමුත් ගත වූ මාස කිහිපයක සිට එම ගැටලු උග්‍ර අතට පත්වී අදාළ විශ්ලේෂණ රසායනාගාරවල දෛනික කටයුතු කිරීමට නොහැකි තැනට පත්ව ඇතැයි ඔහු සඳහන් කළා.

මේ රසායනාගාරවල කටයුතු ප්‍රතික්‍රියක හිඟය හේතුවෙන් අඩාල වීමෙන් මිනිස් පරිභෝජනය සඳහා මුදාහැරෙන ආහාර හා පාන වර්ග පිළිබඳ පරීක්ෂා කිරීම් රැසක් නවතා දමා තිබෙන බව ද රවි කුමුදේශ් මහතා කියා සිටියා.

මේ හේතුවෙන් විස සහිත, ආසාදිත ද්‍රව්‍ය සහිත හා දීර්ඝකාලීන ගැටලු ඇතිවිය හැකි ආහාර ආදිය රට තුළට ඇතුළුවීමේ අවදානමක් පවතින බවට ඔහු අනතුරු අඟවා සිටිනවා.

මේ අතර ආහාර ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය රජයේ රසායනාගාරවල නොමැති වීම හේතුවෙන් ගැටලු රැසක් පැන නැඟී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, මේ හේතුවෙන් වෙළෙඳපොළේ පවතින ආහාර ද්‍රව්‍යවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම ගැටලු සහගත වී ඇති බවයි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආහාරවල සුරක්ෂිතතාවය ආරක්ෂා කරගැනීම සඳහා රසායනාගාරවලට සාම්පල යනවා. මේ සාම්පලවල පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හිඟ නිසා මේ වෙද්දි බොහෝ අනුමත රස පරීක්ෂක කාර්යාලවලින් දැනුම්දීලා තියෙනවා විශාල ආහාර ප්‍රමාණයක් එවන්න එපා කියලා රසායනාගාරවලට විශ්ලේෂණ කටයුතු සඳහා. මේ ගැටලුවත් එක්ක දිවයිනේ වෙළෙඳපොළේ බොහෝවිට තියෙන ආහාරවල ගුණාත්මකභාවය පරීක්ෂාකිරීමේ බරපතළ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම අධිකරණමය කටයුතු සඳහා අපි යවන රසායනාගාර සාම්පල පරීක්ෂා කරගැනීමේ ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. කඩිනමින් මේ තත්ත්වය නිවැරදි කරන්න කටයුතු කළ යුතුයි. විශේෂයෙන් රජයේ රස පරීක්ෂක සහ අනුමත රස පරීක්ෂකවරුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සහ රසායනික ද්‍රව්‍ය සැපයිය යුතුයි. එහෙම නැති වුණොත් වෙළෙඳපොළේ භාවිතයට නුසුදුසු බොහෝ ආහාර ද්‍රව්‍ය අලෙවි වේවි. මෙහි ගුණාත්මකවීමේ තත්ත්වය අපිට ඉදිරියට කළ නොහැකියි.”