hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 16, ප.ව. 8:33



නිසි කළමනාකරණයකින් ඉන්ධන බෙදා හැරීම් සිදු කළද දැනට පවතින ඉන්ධන සංචිත ලබන 21 වනදා දක්වා පමණක් ප්‍රමාණවත් වන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ එම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පවතින ඉන්ධන හිඟයට විරෝධය පළ කරමින් මාර්ග වසා දමා කළහකාරී ලෙස හැසිරෙන්නේ නම් අදාල ඉන්ධන පිරවුම්හලට එදිනට ඇණවුම් කර ඇති ඉන්ධන ලබාදීම අත්හිටුවන බව ද ඒ මහතා සඳහන් කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“දැනට තියෙන සංචිත ඩීසල් එලඹෙන 21 වනදා දක්වා කළමනාකරණය කරගන්න අද ලැබෙන නෞකාවත් එක්ක මම හිතනවා ඒක පහසු වෙයි කියලා. ඒ නිසා ඩීසල් බෙදාහැරීමේ කටයුත්ත අඛණ්ඩව ඒ ආකාරයෙන්ම ඉදිරියට කරගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. පෙට්‍රල් පවතින සංචිත 21 වෙනකන් අපිට පවත්වාගෙන යන්න බෑ. ඊයේ රැස්වූ කැබිනට් අනුකාරක කමිටුව අනුමැතියක් ලබා දුන්නා තවත් සමාගම් දෙකකට අවශ්‍ය පෙට්‍රල් සහ ඩීසල් මෙරටට ආනයනය කිරීම සඳහා ගිවිසුම් ගත වීමට.”

මේ අතර ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ පසුගිය කාල වකවානුවේ දිවයිනට ඉන්ධන ආනයනය කළ අතර, එම යෝජනා ක්‍රමයේ යටතේ හිමිවන ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000ක් රැගත් අවසන් නෞකාව කොළඹ වරායට අද ළඟා වී තිබෙනවා.

මෙරට ඉන්ධන හිඟය දැඩි වී ඇත්තේ මාස 4කට අධික කාලයක සිටයි.

ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව දින ගණනක් දිගු පෝලිම්වල රැදී සිටින අතර ඉන්ධන පෝලිමක සිටියදී වාර්තා වූ තවත් මරණයක් අද වාර්තා වූ අතර ගෑස් පෝලිමකට පැමිණෙමින් සිටි පුද්ගලයෙක්ද ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඉන්ධන බලාපොරොත්තුවෙන් ජනතාව තවමත් කිලෝ මීටර් ගණන් දිගු පෝලිම්වල රැඳී සිටිනවා.

ඉන්ධන ලබාදෙන ලෙස බලකරමින් ස්ථාන කිහිපයකදී ජනතාව මාර්ග හරස් කර විරෝධයේ නිරත වුණ අතර, ඇතැම් ඉන්ධන පෝලිම්වල ගැටුම්කාරී තත්ත්වයන්ද හටගෙන තිබුණා.

නුගේගොඩ – ජුබිලි කණුව මංසන්ධියේදී අද දහවල් මාර්ගය අවහිර කරමින් පැවැත්වූ විරෝධතාව පොලිසිය මැදිහත්වීමෙන් අවසන් කෙරුණා.

මේ අතර, අනුරාධපුර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින්, අනුරාධපුර සහකාර පොලිස් අධිකාරීවරයාගේ යැයි සඳහන් කළ මෝටර් රථයකට ඉන්ධන ලබා ගැනීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ ජනතාව දිගු පෝලිම්වල රැදී සිටියදී අදාල රථය පෝලිමෙන් පරිබාහිරව පැමිණ ඉන්ධන ලබා ගැනීම හේතුවෙන්.

එම අවස්ථාවේ ඉන්ධන පෝලිමේ රැඳී සිටි අනුරාධපුර රෝහලේ වෛද්‍යවරුන් ඊට විරෝධය කළ කළා.

එවන් පසුබිමක අද අනුරාධපුර රෝහලේ කටයුතු අඩාල වී තිබුණේ රෝහලේ සේවකයින් ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල රැඳී සිටීම හේතුවෙන්.

එසේම ඇතැම් පුද්ගලයින් අනවශ්‍ය ලෙස ඉන්ධන සංචිත එක්රැස් කර ගන්නා බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළා.