hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 18, ප.ව. 8:35



මේ වන විට දිගින් දිගටම තෙල් බවුසර් නවතා නීති විරෝධී ලෙස ඉන්ධන අලෙවී කිරීමේ ජාවාරමක් පිලිබඳ තොරතුරු අනාවරණය වෙනවා.

ඉන්ධන බසුවරයක් බම්බලපිටිය සහ වැල්ලවත්ත අතර ප්‍රදේශයේදී මහ පාරේ නවත්වා ඉන් තෙල් ඉවතට ගෙන බූලි කිහිපයක් මෝටර් රථයට දමා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

මෙලෙස බූලි කිහිපයක් මෝටර් රථයට දමාගත් පසුව අදාල කාන්තාව එම ස්ථානයෙන් පිටව යනවා.

මේ අතර අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල ඇති වූ කලහකාරී තත්වයක් හේතුවෙන් කාන්තාවක් ඇතුළු 9දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකපිට අත්අඩංගුවට ගත් 9 දෙනාගෙන් 8 දෙනෙකු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකාර කාන්තාව ඇප මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිස අනිද්දා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණ පරිශ්‍රයේදී ඉන්ධන බවුසරයකින් කෑන්වලට ඉන්ධන ලබා ගන්නා ආකාරය දැක්වෙන සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ වීඩියෝව මගින් චෝදනා එල්ල වී තිබුණේ ඉන්ධන අලෙවි කිරීමක් ක්‍රියට් ආයතනය සිදු කරන බවටයි.

මෙම කටකතාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ අසත්‍යයක් වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිදු ආකාරයකින් ඉන්ධන ගබඩා කිරීමේ නිරත නොවන බව සහ ජනතාවට අලෙවි කිරීමට මැදිහත් නොවන බවයි ඔවුන් මෙම නිවේදනයෙන් අවධාරණය කරන්නේ.

ලංකා IOC පිරවුම්හලකින් මිලදී ගත් ඉන්ධන තොගයක් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ පරිශ්‍රයේ ගබඩා කර ඇති බවත් එම ඉන්ධන ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා තරග සංචාරයේ අවශ්‍යතා සහ දේශීය ක්‍රිකට් මෙහෙයුම් සඳහා මෙන්ම ඉදිරි ජාත්‍යන්තර ක්‍රිකට් තරග සඳහා භාවිත කරන බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බස් රථ, නිල වාහන, බිම් නඩත්තු යන්ත්‍ර සඳහා මෙම ඉන්ධන භාවිත කෙරෙන බවද එමගින් පෙන්වා දෙනවා.

එමෙන්ම දිවා රාත්‍රී තරග සඳහා පහසුකම් සැලසීමට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණවල පිහිටා ඇති විදුලිබල උත්පාදන යන්ත්‍ර සඳහා ද ඉන්ධන භාවිත කළයුතු බවත් ක්‍රිකට් ආයතනය සිය නිවේදනයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය අසල ඉන්ධන බවුසරයකින් බූලි වලට ඉන්ධන ලබා ගන්නා දර්ශන කීපයක් සහිත වීඩියෝවක් ඊයේ (17) සමාජ මාධ්‍යවල සැරිසරනු දක්නට ලැබුණා.

එම වීඩියෝ දර්ශනවලින් පෙන්නුම් කරන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරග සඳහා ක්‍රීඩාංගනයේ විදුලි පහන් දැල්වීමට අවශ්‍ය කරන ජෙනරේටර ක්‍රියාත්මක කිරීම සඳහා රැගෙන ආ ඉන්ධන හොර රහසේ පිටමං කරන විලාසයක්.

එමෙන්ම එම දර්ශන මාලාව රූගත කරන පුද්ගලයා ද එහි සිදුවන ක්‍රියාදාමය සම්බන්ධයෙන් යම්කිසි සැකයක් පහළ කරනවා.

මේ අනුව මෙම සිද්ධියේ ඇත්ත නැත්ත දැන ගැනීම සඳහා අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා මහතා සම්බන්ධ කර ගත්තා.

එහිදී ඔහු කියා සිටියේ එතැන කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදු නොවන බවයි.

මේ දිනවල රට පුරා පවතින බරපතළ ඉන්ධන අර්බුදය සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රථවාහන සහ ‍ක්‍රීඩකයින් ප්‍රවාහනය කරන බස් රථ සඳහා ඉන්ධන සැපයීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමඟ සාකච්ඡා කර මෙම තෙල් බවුසරයක් ලබා ගෙන ඇති බව ඔහු සඳහන් කළා.

මෙම ක්‍රියාවලිය සමස්ත තරගාවලිය පුරාම සිදු කරන බවත් ඔහු අවධාරණය කරනවා.

පවතින තත්වය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාහන සහ ක්‍රීඩකයින් ප්‍රවාහනය කරන බස් රථ දිගු තෙල් පෝලිම් වල රඳවා තැබීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි ඔහු කියා සිටියේ.

මේ අතර ඉන්ධන පිරවුම්හල්වල සේවකයින්ට සහ එහි දේපළවලට නිසි ආරක්ෂාවක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී ඉන්ධන ඇණවුම් ලබා ගැනීමෙන් වළකින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා පවසයි.

සීමාසහිත ලෙස ඉන්ධන නිකුත් කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගැනීමත් සමඟ දින ගණනාවක් අඛණ්ඩව පෝලිම්වල සිටින පිරිස් ඉන්ධන නොලැබීම හේතුවෙන් කුපිතව කලහකාරී ලෙස හැසිරෙන අවස්ථා ගණනාවක් ඊයේ මෙන්ම අද දිනයේදීත් දැකගත හැකි වුණා.

මේ වනවිට පිරවුම්හල් 50 කට පමණ පහරදීම සිදුව ඇති බව ද ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළා.

එවැනි තත්ත්වක් දිගින් දිගටම පැවතුණහොත් ඉන්ධන පිරවුම්හල් වසා දැමීමට තීරණයක් ගත් බවයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා කියා සිටියේ.

මේ අතර ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ 3ක බලපත්‍ර වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ වාර්තා වූ සිද්ධි 3ක් සම්බන්ධයෙන් අදාළ විමර්ශන පැවැත්වෙන තෙක් එලෙස බවුසර්වල බලපත්‍ර අත්හිටවූ බවයි.

විවිධ ස්ථානවලදී බවුසර්වලින් බූලිවලට ඉන්ධන ලබා දෙන වීඩියෝ සමාජ ජාල මාධ්‍ය වෙත එක්වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අදාළ විමර්ශන සිදු කෙරෙනවා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් අදාළ බවුසර් රථ සම්බන්ධයෙන් එම තීරණ ගෙන තිබෙන්නේ.

මේ අතර, ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ටැංකි රථවලට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටීමට හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ ප්‍රමාදයන් සිදුවන බවයි.