hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 21, ප.ව. 4:44



හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝමයක් ඉන්ධන පිරවුම්හල් ඉන්ධන ජාවාරම්කරුවන්ගේ තිප්පොලවල් බවට පත්වීම හේතුවෙන් ඉන්ධන ලබා ගැනීමට පෝලිම් තුළ  රැදී සිටින සාමාන්‍ය ජනතාවට ඉන්ධන ලබා ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවට ජනතාව චෝදනා කරනවා.

විශේෂයෙන්ම මේ ආකාරයෙන් ඉන්ධන පෝලිම් ආක්‍රමණය කරනු ලබන ඉන්ධන ජාවාරම්කරුවන් සංවිධානාත්මකව කණ්ඩායම් වශයෙන් රැදී සිටිමින් පෝලිම් තුලට බලහත්කාරයෙන් ඇතුල් වන බවත් එසේ ඇතුල් වීමට විරුද්ධ වන ජනතාවට බැන, පහරදීම් සිදු කිරීම පවා සිදු කරන බවයි එම ජනතාව පවසා සිටින්නේ.

මෙම තත්වය පොලීසියට පාලනය කර ගත නොහැකි තත්වයට පත්වීමෙන් නගර තුළ දැඩි රථවාහන තදබදයන් පවා ඇතිවී සාමාන්‍ය  ජනතාවට මාර්ගයන්හි ගමන් කිරීමට පවා නොහැකි තත්වයක් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ගොඩ නැගී තිබීම හේතුවෙන් එම ජනතාව දැඩි අපහසුතාවයන්ට පත්වී තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

‘’ඉන්ධන ගහගන්නේ ඒවා විකුණන්න ගහ ගන්න චන්ඩි විතරයි. මේක පොලිසියට නතර කරන්නත් බෑ.‘’ පෝලිමේ රැදී සිටි අයෙකු කියා සිටියා.

එමෙන්ම මේ ආකාරයෙන් ඉන්ධන ජාවාරම්කරුවන් විසින් ලබා ගන්නා ඉන්ධන රුපියල් 2000ත් 2500ත් අතර මුදලකට අලෙවිකරණ බවද ජනතාව පවසා සිටියා.

ජනතාව මෙතරම් අපහසුතාවයන්ට ලක් වුවත් ප්‍රාදේශීය වශයෙන්වත් නිසි ක්‍රමවේදයක් සකසා දීමට ප්‍රදේශයේ කිසිදු උසස් රාජ්‍ය නිලධාරියෙකු මැදිහත් නොවීම සම්බන්ධයෙන්ද ජනතාව සිය අප්‍රසාදය පළකර සිටිනවා.

හම්බන්තොට – රාහුල් සමන්ත හෙට්ටිආරච්චි