hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 මැයි 20, ප.ව. 12:29



තෙල් සංස්ථාවේ නියමයන්ට පටහැනිව අම්බලන්තොට වැලි ව්‍යාපාරිකයන් හට බැරල් සදහා  ඩිසල් නිකුත් කිරීම හේතුවෙන් වාහන සදහා තෙල් ලබාගැනීමට පෝලිම් තුල සිටින ජනතාව දැඩි අසීරුතාවයන්ට ලක්වන බවත් මේ හේතුවෙන් ප්‍රදේශයේ ඩිසල් හිගයක් නිරන්තරයෙන් ඇති වී තිබෙන බවත් පවසමින් ඊයේ (19) සවස අම්බලන්තොට ඉන්ධන පිරවුම්හලක් අසල දැඩි නොසන්සුන්තාවයක් ඇති වී තිබෙනවා.

තෙල් සංස්ථාවේ නියමන් තුල සඳහන් වන්නේ බස්, ලොරි, ටිපර් රථ සඳහා රුපියල් 20,000ක ද වෑන් ට්‍රක් රථ සඳහා රුපියල් 10,000ක ද අවසරලත් ලිපි සහිත කෑන් සඳහා රුපියල් 6,000ක ද තෙල් නිකුත් කරන ලෙසයි.

කෙසේ නමුත් අම්බලන්තොට අදාළ පිරවුම්හල මගින් වැලි ව්‍යාපාරිකයන් හට බැරල් සදහා තෙල් ලීටර් 500කට අධික ප්‍රමාණයක් බැරල් සදහා නිකුත් කිරීම මගින් සාමාන්‍ය ජනයාට බොහෝ වේලාවක් පෝලිම් තුල රැදී සිටීමට සිදුවනවා මෙන්ම පෝලිම්වල දිගු වෙලාවක් රැදී සිටින සාමාන්‍ය රාජකාරීන්හි නියැලෙන පිරස් වෙත තෙල් තොග අවසන් වීමෙන් තෙල් ලබා ගැනීමට නොහැකි තත්වයක් ද උදාවී තිබෙන බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

එමෙන්ම තෙල් ලබා ගැනීමට පැමිණෙන සාමාන්‍ය ජනයා මේ සදහා විරුද්ධ වීම හේතුවෙන් බැරල් සදහා තෙල් ලබා ගැනීමට පැමිණෙන වැලි ව්‍යාපාරිකයන්ගේ තර්ජන සදහා ද ගොදුරු වීමට සිදු වී තිබෙන බව ද ජනතාව පවසා සිටිනවා.

එමෙන්ම ජනතාව පෙන්වා දෙන්නේ අදාල තෙල් පිරවුම්හල තුළ වැලි ව්‍යාපාරිකයන් කීපදෙනෙකු ඒකාධිකාරයක් ද පවත්වාගෙන යන බවයි.

කෙසේ නමුත් අදාල වැලි ව්‍යාපාරිකයන් පවසා සිටින්නේ තමන්ගේ වැලි කැනීම් සඳහා ප්‍රමාණවත් තරම් තෙල් ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් හා භූ විද්‍යා හා පතල් කාර්යාංශය මගින් අවසර ලබා දී තිබෙන බවයි.

කෙසේ නමුත් මෙහි ඇති බරපතල ගැටලුව වන්නේ රටතුල තෙල් හිගයක් පවතින පසුබිමක රටේ මහජනතාවට සාමාන්‍ය රාජකාරි සදහා අවශ්‍ය තෙල් පවා ලබා ගැනීමට නොහැකි වන අයුරින් තෙල් සංස්ථාවේ නියමයන්ට පරිබාහිරව ප්‍රාදේශීය ලේකම් හා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරීන් හට මේ ආකාරයෙන් තෙල් තොග ලබා ගැනීමට ලිපි නිකුත් කිරීමට හැකියාවක් පවතීද?