hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 02, පෙ.ව. 11:38



මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැසිකිලිය තුල සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නේවාසිකාගාරයේ ඉන්ධන තොගයක් සඟවා තිබීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් ප්‍රකාශයක් ලබාගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසුවා.

පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නීති විරෝධීව ඉන්ධන රැස්කරගෙන සඟවා තබා ගෙන ඇති බවට ලැබුණු ජනතා පැමිණිලි කිහිපයකට අනුව පෙරේදා (31) පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු පිරිසක් විසින් මුලතිව් දිසාපති කාර්යාලයේද අවසරය මත මෙම සෝදිසිය කර තිබෙනවා.

එහිදී පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්වරයාට අයත් වැසිකිලිය තුල සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නේවාසිකාගාරයේදී සඟවා තිබූ ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ලීටර් 65 කට අධික ප්‍රමාණයක් පොලිස් නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙනවා.

එහිදී වැටලීම සිදුකල පොලීසිය පවසා සිටියේ අදාල ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුදැනුම මත ඉන්ධන සඟවා තිබීම සහ ඒ පිළිබඳව නැගුනු ජනතා විරෝධය මත මෙම වැටලීම සිදුකල බවටත් එසේ නොවන්නට ජනතාව විසින් අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩාවැදුනේනම් දේපල හානි මෙන්ම පුද්ගල හානි වීමේ අවධානමක්ද පැවති හෙයින් තත්වය පාලනය කිරීමට මෙම පියවර ගත් බවයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් එස්. ජයකාන්ත් මහතා පවසා සිටියේ අදාල ඉන්ධන තමන්ගේ රාජකාරී කටයුතු සඳහා පමණක් තබාගත් බවටත් කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් පොලීසිය නොමග යවා මෙලෙස වැටලීම සිදුකිරීම දැඩි අසාධාරණයක් බවයි.

වන්නි – රොමේෂ් මධුෂංඛ