hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 මැයි 18, පෙ.ව. 11:07



අද (18) සහ හෙට (19) යන දින දෙක තුළ පෝලිම්වල රැදී සිටියත් පෙට්‍රල් ලබා දීමට නොහැකි බව බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඔහු ජනතාවට දැනුම් දෙන්නේ සිකුරාදා (20) දිනයේ සිට පෙට්‍රල් බෙදා හැරීම ආරම්භ කළත් ඉන්ධන හල් තුළින් නිකුත් කිරීමටද දින 3ක් පමණ ගත විය හැකි බවයි.

මෙරට සක්‍රීය ඉන්ධන පිරවුම්හල් 1190 ටම අද පස්වරුව වනවිට ඔටෝ ඩීසල් සහ සුපර් ඩිසල් ලබාදීමට පියවර ගන්නා බවද බලශක්ති ඇමතිවරයා ප්‍රකාශ කලා.

එමෙන්ම අත්‍යවශ්‍ය කරුණු සඳහා සීමාසහිත පෙට්‍රල් ප්‍රමාණයක් පමණක් අද සහ හෙට දිනවලදී පිරවුම්හල් වෙත නිකුත් කෙරෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එබැවින් ඉදිරි දින 02 දී පෙට්‍රල් පෝලිම් සඳහා එක් නොවන්නැයි ඔහු ඉල්ලා සිටියා.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පෙට්‍රල් හිගයට හේතුව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළා.

මේ අතර දිස්ත්‍රික්කවලින් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පාලනයට යටත්කර බාධාවකින් තොරව ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා ලෙස සලකා වෛද්‍යවරුන් ඇතුළු කාර්‍යමණ්ඩලවලටත් පාසල් දරුවන් ප්‍රවාහනය කරන වාහන වලටත් ඉන්ධන ලබා ගැනීමට කටයුතු සම්පාදනය කරන්නැයි අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා සියලුම දිසා ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් මගින් දන්වා යවා තිබෙනවා.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවලට, රථ වාහන වලට මෙන්ම විදුලි ජනන යන්ත්‍රවලට ඉන්ධන සපයන අන්දමින් ලංගම ඩිපෝවලින් වෛද්‍යවරු ඇතුළු කාර්‍ය මණ්ඩල සතු වාහනවලට හා පාසල් ප්‍රවාහන සේවාවන්ටද ඉන්ධන නිකුත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ කළ චක්‍රලේඛනය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සභාපතිවරයා වෙත ද යවා තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ නාරාහෙන්පිට ඉන්ධන පිරවුම්හලින් ඉන්ධන අත් පිට මුදලට තාවකාලිකව ලබා දෙන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පොලිස් සහයක සේවා අධ්‍යක්ෂවරයාට උපදෙස්දී තිබෙනවා.

මේ පියවර ගෙන ඇතැයි රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් එම ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගන්නා විට මන්ත්‍රීවරයා වාහනයේ සිටිය යුතු බව පැවසෙනවා.

මේ අතර සාමන්‍ය පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට තවත් දින තුනක් පමණ ගත වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මුහුද රළු ස්වභාවය හේතුවෙන් මෙරටට පැමිණි නෞකාවේ ගෑස් ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් එම ප්‍රමාදය සිදුවන බව එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසුවා.

එම හේතුවෙන් ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

හැටන් ප්‍රදේශයේ ආපනශාලා හිමියන් සහ ගෑස් පාරිභෝගිකයන් ගෑස් තොග අද (18) දින බෙදා හරින බවට ලද තොරතුරක් මත හැටන් නගරයේ පිහිටි ලිට්‍රෝ ගැස් අලෙවිසැල් ඉදිරිපිට දිගු පෝලිම් වල රැදි සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

සති ගණනාවක සිට හැටන් ප්‍රදේශයට ගෑස් බෙදා හැරිම සිදු නොකල නිසා ආපනශාලා රැසක් මේ වන විට වසා දමා ඇති අතර , එම ආපනශාලා හිමියන් හිස් ගෑස් සිලින්ඩර් අලෙවි නියෝජිත වෙලදසැල ඉදිරිපිට පදික වේදිකාවේ තබා පෝලිම් වල රැදි සිටිනවා.

හැටන් ප්‍රදේශයේ ගෑස් පාරිභෝගිකයන්ද ගැස් සිලින්ඩරයක් ලබා ගැනිමේ අරමුණින් පෝලිම් වල රැදි සිටියි.

ඇතැම් ආපනශාලා හිමියන් හිස් ගෑස් සිලින්ඩර් විශාල ප්‍රමාණයක් පෝලිමට තබා ඇති අතර, කෙදිනක හෝ හැටන් ප්‍රදේශයට ගෑස් තොග බෙදා හරින තෙක් හිස් ගැස් සිලින්ඩර් ඉවත් නොකරන බවයි හැටන් ප්‍රදේශයේ ආපනශාලා හිමියන් සහ ගෑස් පාරිභෝගිකයන් කියා සිටියේ.