2022 ජූලි 22, ප.ව. 2:03
දැවි තෙල් සහ පෙට්‍රල් තොගයක් රැගත් නෞකා දෙකක් ඊයේ (21) මෙරටට පැමිණ තිබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්.
ඒ අනුව, අදාළ ඉන්ධන ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගොඩබෑමේ කටයුතු ආරම්භ කර බවයි ඔහු එහි සඳහන් කරන්නේ.
මෙම ඉන්ධන තොගයට අයත් දැවි තෙල් තොගය බලශක්ති උත්පාදන කටයුතුවලට හා කර්මාන්ත ශාලාවලට මුදා හැරීමට නියමිතයි.
ඉන්ධන ලබා ගැනීම සඳහා වන අංක තහඩු ක්‍රමය සහ කෝටා ක්‍රමය බලාත්මකව පවතින බවත් ජාතික ඉන්ධන බලපත්‍රය වෙනුවෙන් වන QR කේත පරීක්ෂාව සහ ලියාපදිංචිය දිගට ම සිදු කරමින් පවතින බවත් අදාළ ට්විටර් පණිවිඩයේ සඳහන්.
තෙල් දෙන්නේ අංකයට විතරයි
රට පුරා පිහිටි සිපෙට්කෝ ඉන්ධන හල්වලට මේ වන විට ඉන්ධන ලැබෙමින් පවතින බව පිරවුම්හල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරනවා.
රජය විසින් ලබා දෙනු ලැබ ඇති නිර්ණායක මත ඒ ඒ වාහන අංකයේ අවසන් අංකයට හිමි දිනය මත ඉන්ධන නිකුත් කරන බවයි එම සංගමය සදහන් කරන්නේ.
එසේ ම, ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා මහතා සඳහන් කළේ, ඉන්ධන බෙදා හැරීම සඳහා බවුසර් 200ක් පමණ ඊයේ (21) දින යෙද වූ බව යි.
ඊයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් කොළොන්නාව හා මුතුරාජවෙල තෙල් තොග පර්යන්තවලින් නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා.
බොරු අංක තහඩු වලට වෙන දේ
මේ අතර වාහන අංකයේ අවසාන අංකයට අදාළ දිනයන්හිදී ඉන්ධන ලබාදීම ඊයේ (21) සිට ආරම්භ කිරීමත් සමග ඇතැම් පිරිස් වාහන අංක තහඩු වෙනස් කරමින් ඉන්ධන හල් වෙත පැමිණි ආකාරයක් සාමාජ මාධ්‍ය තුල වාර්තා වුණා.
පොලිස් ආරංචි මාර්ග පැවසූවේ වාහනයේ අංක තහඩු වෙනස් කොට හසු වුවහොත් රුපියල් 20,000ක දඩයකට හෝ මාස තුනක සිර දඬුවමකට ලක්විය හැකි බව යි.
මෙම වරදට අදාළව එම වාහනයේ හිමිකරු අත්අඩංගුවට ගත හැකි බවත් එම වරදට අධිකරණය වෙත ඉදිරිපත් කොට මෙම දඬුවම් ලබා දිය හැකි බවත් පොලීසිය සඳහන් කරනවා.
1984 අංක 40 මෝටර් වාහන පනත, 2009 අංක 8 8 දරන මෝටර් වාහන පනත හරහා සංශෝධනය වී එහි දැක්වෙන ආකාරයට මෙම දඬුවම් ක්‍රියාත්මක කළ හැකි යි.
වාහන අංක තහඩු වංචනික ලෙස වෙනස් කිරීම, අනුකරණය කිරීම, මකා දැමීම හෝ විනාශ කිරීම මෙලෙස දඬුවම් ලබාදීමට හේතු වන බවත් එහිදී මුල් අවස්ථාවේ වරදකරු වන අයට රුපියල් 15,000 ට නොඅඩු සහ රුපියල් 20,000ට නොවැඩි දඩයකට හෝ මාස තුනක සිර දඬුවමකට අධිකරණය මගින් දඬුවම් ලබා දීමට හැකියාව පවතිනවා.
එසේ ම, මෙම වරදට දෙවැනි වතාවේ හෝ පසුව හසුවන්නෙකු හට මූල්‍ය දඩය 30,000කට නොඅඩු 50,000කට නොවැඩි දඩයකට හෝ මාස තුනක සිර දඬුවමට යටත් කිරීමට අධිකරණමය බලය තිබෙනවා.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:00