hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මාර්තු 29, පෙ.ව. 10:55



ඓතිහාසික ගාලු කොටු පවුරේ කොටසක් වසර හතරකට පෙර සිට ගිලා බැසීමට පටන් ගෙන තිබුණත් ඒ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් දෙස් හා විදෙස් සංචාරකයන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වහා ම සිය අවධානය යොමු කළ දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා දකුණු පළාත් පුරාවිද්‍යා කාර්යාලය දැනුවත් කර මෙම ගිලා බැස තිබෙන ස්ථානය ප්‍රතිසංස්කරණය කරන තෙක් එම ස්ථානය හරහා මහ ජනතාවට පිවිසීම වළක්වාලමින් ආරක්‍ෂිත වැටක් ඊයේ (28) ඉදිකරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ඉදිකළ පළමු ප්‍රදීපාගාරය අසල කොටු බැම්මේ කොටසක් මෙසේ ගිලා බැසීමට පටන්ගෙන තිබෙනවා.

මෙයට වසර හතරකට පෙර 2019 වසරේ ඔක්තෝබර් මාසයේ පළමුවෙන් ම මෙම ස්ථානය ගිලා බැසීමට පටන් ගත් අතර පසුව ගාලු උරුමය පදනම විසින් එම ස්ථානයට ජනතාව පැමිණීම වළක්වාලමින් ආරක්‍ෂා කිරීමට පියවර ගනු ලැබ තිබෙනවා.

එහෙත් වසර හතරක් යන තුරුත් එම ස්ථානය නිසි ලෙස පිළිසකර නොකිරීම නිසා දැන් පෙරටත් වඩා ප්‍රමාණයක් නාය යාමට පටන්ගෙන ඇති අතර එම ස්ථානය පමණක් නොව ඒ අවට ද දැඩි අවදානමක් මතුව තිබෙනවා.

අඩි දහයක පමණ විෂ්කම්භයකින් යුත් කොටසක් මෙසේ ගිලා බැස ඇති අතර අඩි විස්සකට වැඩි ගැඹුරු දෝනාවක් ද හෑරී ඇති බව වාර්තා වෙනවා.

ජීවිත හානියක් සිදුවීමෙන් පසු මෙය ප්‍රතිසංස්කරණය කිරීමෙන් ඵලක් නොමැති බව ත් ඊට පෙර වහා ම අවධානය යොමු කර මෙය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ප්‍රදේශවාසීන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.