hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 22, පෙ.ව. 8:10



ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුව අත්පත් කරගෙන සිටි පිරිස අද අලුයම සිදු කළ මෙහෙයුමකින් අනතුරුව ඉවත් කිරීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවා.

එහිදී පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් නවදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා සඳහන් කළා.

පොලිසිය යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදුකර තිබුණා.

එම මෙහෙයුම ආරම්භ කිරීමත් සමඟ ගාලු මුවදොර පිහිටි අරගල භූමිය ආශ්‍රිතව උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

අද අලුයම 1.00 ට පමණ යුද හමුදා භට පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් පැමිණ අරගල භූමියේ සිටි අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත්කරමින් ඉදිරියට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ. 

ඉන් පසුව ජනාධිපති ලේකම් කාර්යාලය සහ එහි පිවිසුම් ගේට්ටුව යුද හමුදාව සිය භාරයට ගෙන ඇති බවටද වාර්තා වනවා.

අරගලකරුවන් ඔවුන් රැඳී සිටින කුඩාරම් ඉදිකළ ස්ථානයේ රැඳී සිටින නමුත් යුද හමුදාව ඊට මිටර් කිහිපයක් දුරින් ස්ථානගතවී සිටින බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.