hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 04, ප.ව. 2:13



අයිඑම්එෆ් සාකච්ඡා වලදී ආණ්ඩුව මුල සිටම දැරූ ස්ථාවරය වූයේ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය නොකරන බව වුවද මේ වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට එකඟ වී ඇති අතර එය විදේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට පූර්ව කොන්දේසියක් බවටද පත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා. 

ඒ් මහතා මේ බව සදහන් කර සිටියේ අද (04) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය. 

“අයිඑම්එෆ් සාකච්ඡා වලදී ආණ්ඩුව මුල සිටම දරපු ස්ථාවරය වුණේ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය නොකරන බවයි.  නමුත් අයිඑම්එෆ් ගිවිසුම එළියට එනවිට දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට එකඟ වෙලා පමණක් නොවේ ඒක විදේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට පූර්ව කොන්දේසියක් වෙලා.  නමුත් 2022 සැප්තැම්බර් 1 දා අයිඑම්එෆ් සමග අත්සන් කළ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමේ දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය නෑ.  අපි මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කිව්වාම ජනාධිපතිතුමා කිව්වේ අවසන් ගිවිසුම අත්සන් කළාට පසු සියල්ල ප්‍රසිද්ධ කරනවා කියා.  නමුත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අදටත් රහසක් විධියට තිබෙන්නේ.  ඊට හේතුව තමයි අපට ලැබුණු තොරතුරු අනුව ඒ ගිවිසුම අත්සන් කළාට පස්සේ තමයි දේශීය ණය ප්‍රතිව්‍යුහකරණයට ආණ්ඩුව එකඟ වෙලා තිබෙන්නේ.

දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය මේ ගිවිසුමෙත් කොලේ වහලා ලියලා තිබෙන්නේ.  ගිවිසුමේ 17 පිටුවේ 18 වන කාරණය ලෙස ඒක සඳහන් වෙන්නේ මෙහෙමයි.  The authorities and their financial advisors are weighing different options and their associated legal procedures to optimize the design of a Local Law Local Currency debt treatment while preserving financial stability.  මෙතැන restructure වෙනුවට පාවිච්චි කර තිබෙන්නේ optimize කියන වචනය.  ණය ප්‍රතිව්‍යුහකරණය වෙනුවට ණය ප්‍රශස්තකරණය.  කාවද මේ රවටන්න හදන්නේ ?  නමුත් ණය කපා හැරීමක් ද පොලිය කපා හැරීමක් ද කාලය දිගු කිරීමක් ද ණය විරාමයක් ද ඒවායේ මිශ්‍රණයක් ද කියන කිසිම විස්තරයක් මෙතැන නෑ.  ඒ අවිනිශ්චිත බව නිසාම බැංකුකරුවන් වගේම තැන්පතුකරුවන් ද දැඩි ව්‍යාකූල බවක ඉන්නේ.

ආණ්ඩුවට ලබා දුන් දේශීය ණය වලින් සාතිශය බහුතරය ලබා දීලා තිබෙන්නේ වාණිජ බැංකු.  2019 සිට මේ බැංකු ණය විරාම තම ගනුදෙනුකරුවන්ට ලබා දුන්නා.  ඒ වගේම ආර්ථික අර්බූදය නිසා බොල් ණය දැවැන්ත ලෙස ඉහළ ගිහින්.  මේ අතරේ ආණ්ඩුවේ ණය දැවැන්ත ලෙස ප්‍රතිව්‍යුහ කලොත් වාණිජ බැංකු වලට දැවැන්ත බලපෑමක් ඇති වෙනවා.  අයිඑම්එෆ් ගිවිසුමේ කියන විධියට වාණිජ බැංකු විසින් ආණ්ඩුවට සහ රාජ්‍ය ආයතන වලට ලබා දී ඇති ණය සමස්ත බැංකු වත්කම් වලින් 40%ක්.  මේක අතිශයින්ම සංවේදි තත්වයක් නිසා දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය මග හැරීමට පුළුවන් නම් ඒක තමයි ප්‍රශස්තමය තත්වය.  එහෙම බැරි නම් වාණිජ බැංකු සමග ගැඹුරු සාකච්ඡාවකින් පමණක් දේශීය ණය ප්‍රතිව්‍යහුකරණය කළ යුතු බවටත් ගන්නා තීන්දුවක් ඉක්මනින්ම ගන්නා ලෙසත් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.” යැයි ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසුවා.