hit counter

2024 මැයි මස 08 වන බදාදා

2023 පෙබරවාරි 16, ප.ව. 1:00



ගම්පොළ නගරයේ පෞද්ගලික  බැංකුවකට කඩා වැදී රුපියල් හැත්තෑහය ලක්ෂයක් සමඟ එහි තිබූ සී.ඩී.එම්. යන්ත්‍රය ගලවාගෙන ගිය කොල්ලකරුවන් එහි ආරක්ෂකයා බිය ගැන්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබි්‍ර මහතාගේ නිවෙසින් කොල්ල කෑ ස්වයංක්‍රිය පිස්තෝලය පාවිච්චි කර ඇති බව පොලිසිය මේ වන විට කරන ලද විමර්ශනයේදී හෙළි වී තිබෙනවා.

ඉකුත් වසරේ මැයි මස 09 වැනිදා රට තුළ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සමගාමීව පුත්තලමේ පදිංචි අලි සබි්‍ර මහතාගේ නිවෙසද ප්‍රචණ්ඩකාරීන් විසින් ගිනි තබා විනාශ කරද්දී ඒ මහතාගේ නිවෙසේ තිබූ මෙම පිස්තෝලය සමඟ ඊට යොදන ලද පතරොම් ගැබද ප්‍රචණ්ඩකාරීන් අතට පත්ව තිබෙනවා.

එහෙත් එම ගිනි අවිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මාස 9ක් තිස්සේ පොලිසියට සොයා ගැනීමට හැකිව ලැබී නැහැ.

සී.ඩී.එම්. යන්ත්‍රය කොල්ලකෑම සම්බන්ධයෙන් ගම්පොළ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ විමර්ශනයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් සන්තකයේ තිබී අලි සබ්‍රි මහතාගේ සොරාගත් ගිනි අවියද පතොරම් 10ක් සහිත ගැබද විමර්ශන නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

මේ අතර ඒ.ටී.එම්. යන්ත්‍රයට සෘජුව සම්බන්ධ වූ පුද්ගලයන් හයදෙනාද කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් හයදෙනාගෙන් හතර දෙනකුම එකම පවුලේ සහෝදරයන් බව කියන විමර්ශන නිලධාරීන් ඉන් දෙදෙනකු නිවුන් සොහොයුරන් බවද කියයි.

මෙම හයදෙනාට අමතරව ආධාර අනුබලදීම යටතේ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පොළ ප්‍රදේශයෙන් සැකකරුවන් 2ක්ද ගලහ ප්‍රදේශයෙන් සැකකරුවන් තුන් දෙනෙක්ද පුත්තලම ප්‍රදේශයෙන් සැකකරුවන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන්ගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු රුපියල් 76 ලක්ෂයක් සමඟ කොල්ලකෑ සී.ඩී.එම්. යන්ත්‍රය මීටර් දෙසීයක පමණ ප්‍රපාතයකට විසිකර දමා තිබියදී නිලධාරීන් මහත් පරිශ්‍රමයකින් පසු සොයාගෙන තිබෙනවා.

එමෙන්ම කොල්ලකන ලද මුදලින් දහඅට ලක්ෂ හැත්තෑදහසක්ද නිලධාරීන් සොයාගෙන ඇති අතර ඊට අමතරව 13 ලක්ෂ පනස් දහසක් වියදම් කොට මිලදී ගත් වෑන් රියක්, ලක්ෂ 2ක්, වියදම් කොට මිලදීගත් යතුරුපැදියක්, එක්ලක්ෂ අනූදහසකට මිලදීගත් රන් මාලයක්, තවත් එක්ලක්ෂ පනස්දහසක් වියදම් කොට මිලදී ගත් රන් මාලයක්, ලක්ෂ 2ක පමණ මුදලක් වියදම් කොට ලබාගත් වොෂින් මැෂින් 2ක්, දෙලක්ෂ 64,000ක්  වියදම් කොට ලබාගත් ජංගම දුරකථන 3ක් රුපියල් 33,000ක් වියදම් කොට ලබාගත් රන් මුද්දක් සහ රුපියල් 7000ක් වියදම් කොට මිලදී ගත් ගෑස් සිලින්ඩරයක්ද මොවුන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම සොරාගත් තවත් මුදල් මොවුන්ගේ  ණය පියවීම සඳහාත් තවත් බැංකු ගිණුම්වල තැන්පත් කර ඇති බවත් පොලිස් විමර්ශනයේදී හෙළි වී තිබෙනවා.

එමෙන්ම මොවුන් මීට පෙර ගම්පොළ සමෘද්ධි බැංකුවේ සේප්පුවක් කැඩීමක් සම්බන්ධයෙන්ද ස්වර්ණාභරණ ආයතන 2කින් කළ ස්වර්ණාභරණ සොරකම් දෙකක් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබෙනවා.

තවත් තොරතුරු සොයාගැනීම සඳහා සැකකරුවන් 7 දෙනා අධිකරණයට ඉදිරිපත් කොට රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කෙරෙනවා.

ගම්පොළ කොට්ඨාසයේ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත ගම්පොළ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඉකුත් ජනවාරි මස 25 වැනිදා මෙම කොල්ලකරුවන් ගම්පොළ නගරයේ පෞද්ගලික බැංකුවක ස්ථාපිත සී.ඩී.එම්. යන්ත්‍රය ගලවා ගෙන ගොස් තිබුණා.