hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 04, ප.ව. 6:31



හැටන් නගරයේ පිහිටි අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හලකට අද (04) පෙට්‍රල් ඉන්ධන ලීටර් 6600 ලැබීමත් සමඟ වෙලදසැල්, ආපනශාලා, සංචාරක හෝටල් සහ නිවාස වල භාවිතා කරන විදුලි ජනක යන්ත්‍ර වලට ඉන්ධන ලබා ගැනීම සදහා එම යන්ත්‍ර හිමිකරුවන් දිගු පෝලිම් වල රැදි සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ඉන්ධන පිරවුම්හලෙන් බූලි වලට සහ භාජන වලට ඉන්ධන නිකුත් නොකිරීම නිසා එම පිරිස විසින් විදුලි ජනක යන්ත්‍ර රැගෙනවිත් පෝලිමේ රැදි සිටිමින් ඉන්ධන ලබා ගන්නා අයුරු දක්නට ලැබූ බවයි වාර්තා වන්නේ.

විදුලි ජනක යන්ත්‍ර වලට අමතරව ගස් කපන චෙන් සෝ යන්ත්‍ර සහ ජල ඉසින පොම්ප රැගෙනවිත් තිබු අතර , එම යන්ත්‍රවලට සීමාවන්ට යටත්ව ඉන්ධන නිකුත් කිරිමට ඉන්ධන පිරවුම්හල් සේවකයින් පියවර ගෙන තිබෙනවා.

එම ඉන්ධන පිරවුම්හලේ වාහන වලට ඉන්ධන නිකුත් කිරිමේදි උණුසුම්කාරි තත්ත්වයන් ඇති වීම නිසා විදුලි ජනක යන්ත්‍ර , චෙන් සෝ යන්ත්‍ර සහ ජල ඉසින පොම්ප වලට වෙනම පෝලිමක් සාදා පෙට්‍රල් ඉන්ධන නිකුත් කිරීමට ආරක්ෂක අංශ නිලධාරින් පියවර ගත් බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

හැටන් – රංජිත් රාජපක්ෂ