hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 11, පෙ.ව. 10:16



ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කර වෙනත් ෆේස්බුක් ගිණුම්වල ඇති කුඩා දැරියන්ගේ ඡායාරූප අවභාවිත කරමින් ලිංගික ක්‍රියාකාරකම් උලුප්පමින් පෝස්ට්ටු පළ කළ ගිණුම් ලිපිකරුවෙකු වත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය ඊයේ (10) සමත් වුණා.

ඉකුත් 8 වන දා සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයට ලැබුණු පැමිණිල්ලක් මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

කුඩා දැරියන්ගේ ඡායාරූප යොදා ගනිමින් ඔවුන් සම්බන්ධයෙන් ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයේ පෝස්ට් පළ කරනු ලබන ෆේස්බුක් ගිණුමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

මෙම ෆේස්බුක් පිටුවෙහි පෙර පාසල් සහ පාසල් යන වයසේ කුඩා දැරිවියන් සහ එක්තරා සංගීත කණ්ඩායමක දැරියකගේ ද පින්තූර පළ කර ලිංගික හැඟීම් උද්දීපනය වන ආකාරයට සටහනක් පළ කරමින් වෙනත් පුද්ගලයන්ගෙන් අදහස් ලබාගන්නා ආකාරයෙන් අදාළ ෆේස්බුක් ගිණුම පවත්වාගෙන ගොස් තිබෙන බව සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි.

මේ වන විට එම ෆේස්බුක් ගිණුමට පුද්ගලයන් 5000කට ආසන්න පිරිසක් සාමාජිකත්වය ලබාගෙන ඇති අතර එම ව්‍යාජ ගිණුම මීට මාස දෙකකට පෙර නිර්මාණය කර ඇති බව ද කියයි.

එමෙන් ම එම ෆේස්බුක් ගිණුම හරහා කාමුක ක්‍රියාවලට ආරාධනා කිරීමටත් නොයෙකුත් දැරියන්ට විවිධ ලංසු තැබීමට සාමාජිකයන් පෙලෙඹවීමටත් සැකකරු කටයුතු කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වීමත් සමග එම අසභ්‍ය ව්‍යාජ ෆේස්බුක් පිටුව මේ වන විට මුහුණුපොතෙන් ඉවත් කිරීමට කටයුතු යොදා තිබෙනවා.

වයස අවුරුදු 40ක් වන සැකකරු වත්තේගම යටවර අරඹේ දුක්ගන්නා වලව්වේ පදිංචිකරුවෙක්.

ඔහු කටුගස්තොට, මැණික්කුඹුර ප්‍රදේශයේ ආයතනයක ගිණුම් ලිපිකරුවෙකු ලෙස සේවය කරන බව සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය කියයි.

සැකකරුගෙන් ඊයේ (10) දහවල් වනතුරු ප්‍රශ්නකර ඇති අතර මෙම ව්‍යාජ අසභ්‍ය ෆේස්බුක් පිටු නිර්මාණය කිරීම සහ ඊට සම්බන්ධ වූවන් සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ද අරඹා තිබෙනවා.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතාගේ උපදෙස් මත සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.අයි.වී. ගයාශ්‍රී ඇතුළු කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වනවා.