hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 12, ප.ව. 9:07



කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයට ඊයේ පස්වරුවේ පැමිණි තරුණ යුවළක් රාත්‍රියේ එහි කඳවුරු බැඳ තිබෙනවා.

ඔවුන් කූඩාරම සකස් කර ඇත්තේ පූනාගල ප්‍රදේශවාසී තරුණයින් දෙදෙනෙකුගේ ද සහය ඇතිවයි.

එලෙස රාත්‍රියගත කිරීම සඳහා කූඩාරමට ගිය ඔවුන්ට එහි වැඩි වේලාවක් රැඳී සිටීමට හැකි වී නැහැ.

අලිමංකඩ හරහා ගිය අලියෙකු රාත්‍රී දහයයි තිහට පමණ කූඩාරමට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඔවුන් දෙපළ වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව අද අලුයම් කාලය වනතෙක් කිසිවෙකුත් දැන සිට නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වන්නේ අද උදෑසන හයට පමණ සුවසැරිය ගිලන් රථ සේවයට ලැබුණු ඇමතුමකින්.

“මගේ ඔලුව වැදුනේ. මම එයාව බදා ගත්තා. අයියෝ උදේ දහය හමාරට විතර. “

කෙසේ වෙතත් ගිලන් රථයට කූඩාරම අසලට ළඟා වීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් දෙදෙනා පහළට ගෙන එන්නේ ප්‍රදේශවාසීන්ගේ මැදිහත් වීමෙන්.

පොලිසිය පවසන්නේ ඒ වන විටත් වන අලියාගේ ප්‍රහාරයට ලක් වූ තරුණිය මියගොස් සිට ඇති බවයි.

තුවාල ලද තරුණයා ප්‍රතිකාර සඳහා කොස්ලන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා.

රෝහල්ගත කර තිබෙන තරුණයා සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,

“තුන් පාරක් පෑගුනා. එතකොට ටෙන්ට් එක ඉරුනා. එළියට පනින්න හැදුවා. අලියා ඔය හතර වටේම කැරකුනා. කොහොමහරි මං එයාව අතහැරියෙ නෑ.”

සිද්ධියෙන් මියගියේ මාතර කැකුණදුර පදිංචිව සිටි තරුෂි කවීෂා නම් විසිතුන් හැවිරිදි තරුණියක්.

ඥාතීන් පවසන්නේ හෙද පුහුණුව ලබමින් සිටි ඇය පෞද්ගලික රෝහලක හෙද සේවිකාවක් ලෙස නුදුරේදී වැඩ භාර ගැනීමට සූදානම්ව සිටි බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයා ධනුෂ්ක මධුෂාන් නම් විසි දෙහැවිරිදි තරුණයෙකු වනවා.

කුරුණෑගල වාරියපොළ පදිංචි ඔහු වෘත්තියෙන් අලෙවි නිලධාරියෙකු වනවා.