hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 අප්‍රේල් 22, ප.ව. 2:20



හලාවත මානුවන්ගම ප්‍රදේශයේ තම මව්පියන් සමග පදිංචිව සිටි වයස අවුරුදු 18ක තම බිරිඳව අවුරුදු 19ක් වයසැති සැමියා පැමිණ බලහත්කාරයෙන් පැහැරගෙනගොස් තිබෙනවා.

හලාවත මූලස්ථාන පොලිසිය ප්‍රකාශ කරන්නේ මෙම සැමියා ඇතුළු පස් දෙනෙකු පැමිණ මෙලෙස ඔහුගේ බිරිඳව පැහැරගෙන ගොස් තිබෙන බවයි.

හලාවත ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ මෙම කාන්තාව උපකාරක පන්තිවලට සහභාගී වන කාලය තුලදී හඳුනාගත් අයෙකු සමග සම්බන්ධයක් අරඹා තිබෙනවා.

එම ප්‍රේම සම්බන්ධය මත දෙමව්පියන්ට හොර රහසේ ඔහු සාමග නිවසින් බැහැරව ගොස් දඹුල්ල ප්‍රදේශයේ ඇගේ පෙම්වතා සමග වෙනම නිවසක ජීවත්වී ඇති බවයි වාර්තා වන්නේ.

මාස කිහිපයක කාලයක් දඹුල්ල නිවසේ තම සැමියා සමග එක්ව දිවි ගෙවූ මෙම කාන්තාව ඔහුගෙන් සිදුවන හිරිහැර ඉවසාගත නොහැකිව නැවත තම මව්පියන්ට ඇමතුමක් ගෙන තිබෙනවා.

මව්පියන්ගේ උපදෙස් මත ක්‍රියා කළ මෙම කාන්තාව තම සැමියා සමග මහනුවර ප්‍රදේශයට පැමිණ ඇති අතර සැමියාට සැක නොසිතෙන ලෙස ඔහුව මගහැර දෙමව්පියන් සමග හලාවත නිවසට නැවත පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තම බිරිඳ සොයා හලාවත නිවසට පැමිණි මෙම සැමියා තවත් පුද්ගලයින් කිහිපදෙනකු සමග ඇයව බලහත්කාරයෙන් වෑන් රථයකින් පැහැරගෙනගොස් තිබෙනවා.

මේ පිළිබඳව හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් යු. ගමගේ මහතාගේ උපදෙස් මත හලාවත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්.ඩි.එස්. පද්මකුමාර මහතා ඇතුළු පොලිස් නිළධාරින් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ අරඹා තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.