hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 නොවැම්‍බර් 26, ප.ව. 6:39



අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැළඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ අනුව ආනයන අපනයන පාලක ජනරාල්ගේ අවසරයකින් තොරව කැරට් 22කට වැඩි රන් භාණ්ඩ පැළඳ ගුවන් මගින් පැමිණීම අත්හිටුවන බවයි.

රන් භාණ්ඩවල තත්ත්වය සහ ප්‍රමාණයන් පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කිරීමට රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කරන බව පෙන්වා දෙන අමාත්‍යවර සඳහන් කරන්නේ විදේශගතව පැමිණෙන ශ්‍රමිකයන්ට හෝ සාමාන්‍ය ගුවන් මගීන්ට හෝ මෙමගින් කිසිදු පීඩාවක් ඇති නොවන බවයි.

ගුවන් මගීන්ට පැළඳ පැමිණිය හැකි රන් භාණ්ඩවල ප්‍රමිතියක් හෝ සීමාවක් නොමැතිවීමේ අවසරය භාවිත කරමින් දෛනිකව රත්‍රන් කිලෝ 50ක් පමණ ජාවාරාම්කරුවන් විසින් මෙරටට රැගෙන එන බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඇතැම් ජාවාරම්කරුවන් දෛනිකව අසන්න රටවල් වෙත ගුවන් මගින් ගමන් කරමින් කැරට් 24 රන් පළඳනා ලෙස සකස් කරගෙන මෙරටට පැමිණෙන බව ද වාර්තා වී තිබෙනවා.

එමගින් මාසයකට රටට අහිමි වන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 30ක් පමණ වන බව ගණන් බලා තිබෙනවා.

මේ පිළිබඳ සොයා බලා වාර්තාවක් නිකුත් කරන ලෙස රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට කළ නියෝගයකට අනුව අදාළ වාර්තාව පසුගිය දා අමාත්‍යවරයා අතට පත් වුණා.

ඒ් පිළිබඳ අධ්‍යනය කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි සියඹලාපිටිය මහතා පවසන්නේ.