hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 19, ප.ව. 12:10



පසුගිය 09 වැනිදා ඇතිවූ සිද්ධියෙන් පසු එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටවීමට යාමේදී ගැටලුකාරී තත්වයක් ඇතිවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළා.

ජනපතිවරයා විදෙස් රටකට ගිය පසුව ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දීමට තීරණය කර තිබූ හෙයින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රටින් පිටවීමට අවශ්‍ය ගුවන් යානයක් සූදානම් කිරීම අභියෝගයක් වී තිබූ බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසූවේ.

ශ්‍රී ලන්කන් ගුවන් යානාවලින් රැගෙන යාම අනතුරුදායක බව ආරක්ෂක ප්‍රධානීන් පෙන්වා දී තිබෙනවා. ඊට හේතුවී තිබුණේ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය ජනාධිපතිවරයා රැගෙන යාමට නොහැකි බව පෙන්වා දීමයි.

කෙසේ වෙතත් ඉන්දීය ගුවන් යානයක් ගෙන්වා ජනාධිපතිවරයා රටින් පිටව යාමට අවස්ථාව සලසා දීමට කටයුතු සැලසුම් කළද මෙරට සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ඉන්දීය ගුවන් යානයක් ගොඩා බැස්සවීමට අවසර දීමට එකඟ වී නැතැයි වාර්තා වනවා.

ඉන් පසු ශ්‍රී ලංකන් ගුවන් යානයක් හරහා විදෙස් ගත වීමට කටයුතු සකස් කළද ඊටද අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රීලන්කන් සභාපතිවරයා බවයි වාර්තා වන්නේ.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට ජනාධිපතිවරයාට රටින් පිටවීමට අවශ්‍ය පහසුකම් සැලසුවහොත් තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව අදාල නිලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි.

ඔවුන් පෙන්වා දී ඇත්තේ තමන්ගේ පුද්ගලික නිවාසවලටද ජනතාව පහරදීමට හැකි බවයි.

විශේෂත්වය වන්නේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා මෙන්ම ශ්‍රීලන්කන් ගුවන් සේවයේ සභාපතිවරයාද පත් කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වීමයි.

කෙසේ වෙතත් ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස කුලියට ගත් ගුවන් යානා හා වාණිජ ගුවන් යානාවලින් ජනපතිවරයාට පිටවීමේදී ඇති තර්ජනය සැලකිල්ලට ගෙන ගුවන් හමුදාවේ යානයකින් විදෙස් ගතවීමට පසුව තීරණය කර තිබෙනවා.

ගුවන් හමුදාව සතුව තිබූ ඇන්ටනොව් 32 ගුවන් යානාවකින් ජනපතිවරයා රැගෙන යාම අවසන් සැලසුම වී තිබුණා.

කටුනායක ගුවන් තොටු​පොළෙන් පිටත්වීමට පෙර ඇන්ටනොව් 32 ගුවන් යානය වාණිජ ගුවන් යානයක් ලෙස ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා ලියාපදිංචි කිරීම කටයුතු කර තිබෙනවා.

රජය ගුවන් ගමනට අනුමැතිය දුන්නද මාලේ ගුවන් තොටුපොළේ ගුවන් ගමන් පාලක පද්ධතියට ගුවන් යානාව ගොඩ බැස්සවීමට අවසරයක් ලැබී නොතිබූ නිසා මාලේ ගුවන් තොටු​පොළේ ගොඩබෑමට අවසරය ලැබෙන තුරු යානාව කටුනායක ගුවන් පථයේ රඳවා තිබෙනවා.

මාලේ ගුවන් තොටුපොළෙන් ලද අනුමැතිය සමග පසුගිය 13 වනදා අලුයම 1.00ට ගුවන් යානය ගුවන් ගත වුණා. පැයකුත් විනාඩි හතළිහක ගුවන් ගමනකින් පසුව ජනපතිවරයා හා ඔහුගේ බිරිය ඇතුළු සිව් දෙනා ආරක්ෂිතව ගොඩ බස්සවා යළිත් ඉන්ධන ලබා ගෙන ගුවන් යානය නැවතත් කටුනායකට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව එම පහසුකම් සලසා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාට නොව එවකට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනපතිවරයා සේම සේනාධිනායකයාටය. ඔහු දෙන සියලු නීත්‍යානුකූල නියෝග පිළි ගැනීමට සන්නද්ධ හමුදා බැඳී සිටින අතර එම නි​යෝග නොතකා හැරීම රාජද්‍රෝහී වරදක් යටතේ යුද්ධාධිකරණයේදී නඩු පවරා මරණ දඬුවම දිය හැකි වරදක්.

මේ අතර මාලදිවයින හරහා සිංගප්පූරු බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පසුගිය ජුලි 14 වැනිදා මාලේ ගුවන් තොටුපොළේ දී ජනපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් උඩුගුවනේදීම යළිත් ඉන්දියාවටම හරවාගෙන ගිය බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසුවා.

ඉන්දියාවේ සිට ගුවන්ගත වූ මෙම යානය නැවත ඉන්දියාවට ගෙන්වාගෙන ඇත්තේ මාලදිවයිනට යාමට ගුවන් ගතවී පැය භාගයකට පසුවයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා ජනපති බිරිඳ එම යානයෙන් රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් නැවත හරවාගෙන එන ලෙස නියමුවන්ට උපදෙස් දී ඇතැයි හෙළි වී තිබෙනවා.

ජනපතිවරයාව මාලදිවයිනේ සිට සිංගප්පූරුවට රැගෙන යාමට ගුවන් යානා තුනක් පමණ සූදානම් කළද විවිධ ජාත්‍යන්තර බලපෑම් නිසා එම ගුවන් යානා ජනපතිවරයා රැගෙන යාම ප්‍රතික්ෂේප කළ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: