hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 නොවැම්‍බර් 04, ප.ව. 12:04



දේශගුණික විපර්යාස අවම කිරීමට රජයක් විසින් ගත යුතු පියවර නොගැනීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ජනාධිපතිවරයාටත්, මධ්‍යම පරිසර අධිකාරියටත්, ලංකා විදුලිබල මණ්ඩලයටත්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු වගඋත්තරකරුවන් ගණනාවකට එරෙහිව පවරා තිබූ නඩුව පසුගිය 27 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවනු ලැබුවා.

එය මූලික අයිතිවාසිකම් නඩුකරයක්. එහිදී කරුණු තහවුරු කිරීමට පෙත්සම්කරුවන් සූදානම්ව සිටියද මධ්‍යම පරිසර අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ඔවුන්ට විරෝධතා ගොනු කිරීම සදහා තවත් කාලයක් අවශ්‍ය වන බවයි.

මේ අවස්ථාවේදී තවදුරටත් කාලය ලබා දීමට පෙත්සම්කරුවන් විරුද්ධ වූ බැවින් එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා සිටියේ විශේෂයෙන්ම මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනයක් තව දුරටත් දින ඉල්ලීම අධිකරණයේ කණස්සල්ලට හේතුවක් වන කරුණක් බවයි.

රජය වෙනුවෙන් කළ ඉල්ලීම සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණය සති දෙකක කාලයක් අවසන් වරට ලබාදීමටත් ඉන්පසු රජයේ පාර්ශවයන්ට තවදුරටත් කාලය ලබා නොදෙන බවටත්, තරයේ අවවාද කර තිබෙනවා.

එමෙන්ම තවදුරටත් නිතිපති දෙපාර්තමේන්තුව දන්වා සිටියේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නිතිපති දෙපාර්තමේන්තුව තවදුරටත් පෙනී නොසිටින බවයි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නිතිඥ කාන්චනා බාලචන්ද්‍ර මෙනෙවියගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නිතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා, නීතිඥ සවන්ති පොන්නම්පෙරුම මෙනෙවිය, නීතිඥ නිල්මල් වික්‍රමසිංහ මහත්මිය පෙනී සිටියා.

වැඩිදුරටත් කරුණු තහවුරු කිරීම සදහා නඩුව 2023 ජනවාරි මස 23 වන දින නැවත කැදවීමට තීරණය කළා.

හික්කඩුව – බුද්ධික වීරසිංහ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: