hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 19, ප.ව. 9:41



තිස් වසරක් පුරා රටත් ජනතාවත් පීඩාවට පත් කළ කුරිරු, බියකරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර වසර 13ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු ‘ජාතික රණවිරු සැමරුම් උත්සවය’ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අබියස දී චාම් හා අභිමානවත් අයුරින් අද (19) පෙරවරුවේ පැවැත්වුණා.

ඒ එදා ආරක්‍ෂක ලේකම්වරයා ලෙස ත්‍රස්තවාදය අවසන් කිරීමට උර දුන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

දශක තුනක කාලයක් පැවති එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කර වීරෝධාර රණවිරුවන් අත්කරගත් විජයග්‍රහණයේදී යුද, ගුවන්, නාවික, පොලිස් සහ සිවිල් ආරක්ෂක බලකායේ වීරෝදාර රණවිරුවෝ 28,619 දෙනෙක් මව්බිමේ නිදහස පතා දිවි පිදුවා.

ආබාධිත වූ රණවිරුවන් සංඛ්‍යාව විසිහත් දහසකට අධිකයි.

රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව සහ ස්වාධීනත්වය උදෙසා සිය වටිනා ජීවිත පරිත්‍යාග කළ යුද්ධ හමුදා රණවිරුවන් 23,962ක්, නාවික හමුදා විරුවන් 1,160ක්, ගුවන් හමුදා විරුවන් 443ක්, පොලිසියේ 2598 ක් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 456 ක් වන විරෝදාර රණවිරුවන් මෙම රණවිරු සැමරුම් උත්සවයේදී සිහිපත් කෙරුණා.

ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ සම්බන්ධීකරණය මත රණවිරු සේවා අධිකාරිය මගින් මෙම උත්සවය සංවිධානය කර තිබෙනවා.

මාතෘභූමියේ නිදහස, ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාව සුරකිනු වස් ජීවිත පරිත්‍යාග කළ සහ අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර දැක්වීමට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එක් වුණා.

පසුගිය මාර්තු 31 ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවස අසළ පැවති විරෝධත්වයෙන් පසු ඊයේ වනතුරු ප්‍රධාන උත්සවයකට ජනාධිපතිවරයා සහභාගී නොවුණු අතර ඉන් පසු සහභාගී වූ පළමු උත්සවය වන්නේ ද අද දිනයේ පැවති ජාතික රණවිරු සැමරුම් උත්සවයයි.

May be an image of 7 people, people standing and outdoors
May be an image of 4 people, people standing and outdoors