hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 06, පෙ.ව. 5:14



රාජ්‍ය ව්‍යාපාරවල කාර්යසාධනය, පාලනය, වගවීම සහ විනිවිදභාවය ශක්තිමත් කිරීමේ අරමුණෙන් සාමූහික අභිලාෂ ගිවිසුම්වලට අත්සන් තැබීම පෙරේදා (04) මුදල් අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.  

මෙහි ආරම්භක පියවරක් ලෙස ජාතික ලොතරැයි මණ්ඩලය, සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, හලාවත වැවිලි සමාගම හා කුරුණෑගල වැවිලි සමාගම, යන රාජ්‍ය ව්‍යාපාර 5 සඳහා සාමූහික අභිලාශ ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

සාමූහික අභිලාෂ ප්‍රකාශය යනු රජයේ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවට අනුකූලව එකඟ වූ කාල සීමාව තුළ රාජ්‍ය ව්‍යාපාරයන්හි මෙහෙයුම්, මූල්‍ය හා සේවා සැපයීමේ කාර්ය සාධනය ඉහළ නැංවීම සඳහා අත්සන් කරනු ලබන ත්‍රෛපාර්ශවීක ගිවිසුමක්.

රාජ්‍ය ව්‍යාපාරය නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් සභාපතිවරයා, සුපරීක්ෂක ආයතනය නියෝජනය කරමින් රේඛීය අමාත්‍යාංශයේ ලේකම් වරයාත්, මහජන අභිලාශ සුරක්ෂිත කිරීම හා රාජ්‍ය හිමිකාරීත්වය සම්බන්ධයෙන් මහාභාණ්ඩාගාරය නියෝජනය කරමින් මහාභාණ්ඩාගාර ලේකම්වරයාත් මෙම ත්‍රෛපාර්ශවීක ගිවිසුමට අත්සන් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

මෙහි දී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ පවතින ආර්ථික තත්ත්වය තුළ තව දුරටත් පාඩු ලබන රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම ගැටලු සහගත බවයි.

අධ්‍යාපනයට හෝ සෞඛ්‍යයට වැය කරන මුදලට සමාන මුදලක් පාඩු ලබන රාජ්‍ය ආයතන වෙනුවෙන් රජයට වැය කිරීමට සිදු ව ඇති බවත් එය තව දුරටත් භාණ්ඩාගාරයට සිදු කළ හැකි කටයුත්තක් නොවන බව අමාත්‍යවරයා කියා සිටියා.