hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2023 මාර්තු 01, පෙ.ව. 9:42



2016 ජනවාරි මාසයෙන් පසු රාජ්‍ය සේවයට බඳවා ගත් සේවකයින් සඳහා නව රාජ්‍ය දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදලක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව, රාජ්‍ය සේවකයෙකු සේවයට බැඳීමෙන් අනතුරුව මූලික වැටුපෙන් සියයට 8ක් සහ සේවායෝජකයාගේ දායකත්වය යටතේ සියයට 12ක් මාසිකව මෙම අරමුදලට බැරවිය යුතු ය.

මෙම යෝජිත දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදල කළමනාකරණ මණ්ඩලයක් මගින් පාලනය වන අතර එය ස්වාධීන ආයතනයක් ලෙස පිහිටවනු ඇත.

රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින්ට ඔවුන්ගේ විශ්‍රාම දිවිය සඳහා යම් ප්‍රතිලාභයක් සමඟ විශ්‍රාම වැටුපක් ලබා දීමටත්, විශ්‍රාමිකයාට රටට බරක් නොවී ඔහුගේ විශ්‍රාම දිවිය ගත කිරීමට සුදුසු පරිසරයක් සහතික කිරීමටත් හැකි වන පරිදි ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල නමින් අරමුදලක් ස්ථාපිත කිරීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇතැයි රජය පවසනවා.

යෝජිත ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ඉදිරියේදී බඳවා ගනු ලබන රාජ්‍ය සේවකයින් සඳහා අදාළ වනු ඇත.

එමෙන්ම, 2016 ජනවාරි මාසයෙන් පසු රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද සේවකයින් රජය විසින් තීරණය කරනු ලබන විශ්‍රාම වැටුප් ක්‍රමයකට යටත් විය යුතු බවට වන විධිවිධාන ඔවුන්ගේ පත්වීම් ලිපිවල ඇතුළත් බැවින්, තම අභිමතය පරිදි යෝජිත ජාතික දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයට සම්බන්ධ වීමට ඔවුන්ට ද හැකි වනු ඇත.

ඒ අනුව, අවශ්‍ය විධිවිධාන සැලසීමට හැකි වන අයුරින් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.