hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 පෙබරවාරි 27, පෙ.ව. 12:09



සමීක්ෂණයකින් ජනතාවට විවෘතකර ඇති, රාජ්‍ය සේවා සපයන නිලධාරීන්ගේ දුරකථන අංකවලින් 49%ක්, එනම් හරි අඩක්ම ක්‍රියා විරහිත අංක බව හෙළිවී තිබෙනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශය විසින්, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මෙම සමීක්ෂණය සිදුකර ඇත.

මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ, දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම රාජකාරී කටයුතු සිදුකරන ග්‍රාම නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ සංවර්ධන නිලධාරීන්ගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වෙබ් පිටුවෙහි පළකර ඇති දුරකථන අංක සැලකිල්ලට ගනිමින්ය.

එහිදි සලකා බලා ඇත්තේ අදාළ අංක භාවිතයේ පවතින්නේද ? අංකය ඇමතීමේදී දුරකථනයට ප්‍රතිචාර දක්වන්නේද ? සහ පිළිතුරු සපයන්නේද ? යන්නය. සමීක්ෂණයට භාජනය කළ දුරකථන අංක 589න් 286ක්, එනම් 49%ක්ම ක්‍රියා විරහිත අංක බව මෙහිදී හෙළි වී ඇත.

දුරකථන අංකය ක්‍රියාත්මක නමුත් පිළිතුරු නොදෙන ප්‍රතිශතය 22% කි. ඇමතුම්වලට පිළිතුරු දීමේ ප්‍රතිශතය 29%ක් බව එම අධ්‍යයන අංශය පවසයි.

මීට අමතරව ප්‍රාදේශීය සභා 98ක, මහ නගර සභා 23ක සහ නගර සභා 36ක ස්ථාවර දුරකථන අංක මෙම අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දෙන්නේ, එම සමීක්ෂණ ප්‍රතිඵල මඟින් රාජ්‍ය සේවයේ පවතින අකාර්යක්ෂමතාව පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: