hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 04, පෙ.ව. 12:03



රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින්, රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් සකස් කිරීමට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙතයි.

සේවා ස්ථාන සහයෝගීතාව තුළින් මෙරට තුළ ඉහළ ගුණාත්මක භාවයකින් යුතු රාජ්‍ය සේවයක් ගොඩනැගීම හා මහජනතාව වෙත විශිෂ්ට සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙම චක්‍රලේඛය සකස් කර තිබෙන්නේ, රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා වූ යෝජිත යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය අනුවයි.

ඒ අනුව යෝජිත නව යාන්ත්‍රණය සමස්ත රාජ්‍ය සේවය තුළම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර එය සේවා ස්ථාන ආංශික හා ජාතික මට්ටම යන ස්ථර තුනකින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික හා විශේෂඥ සහාය ලබාගනිමින් සෞඛ්‍ය හා ප්‍රවාහන අංශයන්හි සේවා ස්ථාන කිහිපයක නියමු ව්‍යාපෘති ලෙස මෙම යාන්ත්‍රණය මේ වන විටත් ක්‍රියාත්මක කර තිබෙනවා.

රාජ්‍ය ආයතන තුළ පවතින සේවක ආරවුල් නිරාකරණය කරගැනීමටත් කළමනාකරණ සේවක හා වෘත්තීය සංගම්වල නියෝජිතයන් අතර සහයෝගීතාව වර්ධනය කරගැනීමටත් සේවා ස්ථාන ප්‍රතිසංස්කරණය තුළින් රාජ්‍ය සේවයේ ඵලදායීතාව වර්ධනය කිරීම හා රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ අරමුණ වී ඇති බව සඳහන්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: