hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 29, පෙ.ව. 11:29



නිල කාලය අවසන් වී ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර ගෙන ඇති පළාත් පාලන ආයතන 340ක හිටපු මන්ත්‍රීවරුන් යළිත් එම ආයතනවල මන්ත්‍රී ධූර සඳහා කැඳවීමට නීති සැකසීමට යන බවට තොරතුරු වාර්තා වෙනවා.

මේ අනුව මහ නගර සභා 24ක, නගර සභා 41ක සහ ප්‍රාදේශීය සභා 276ක හිටපු නියෝජිතයන්ට නැවත සිය තනතුරු හිමි වනු ඇති.

මහනගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා යන පනත් තුන ම සංශෝධනය කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස පනත් කෙටුම්පත් තුනක් ඉදිරිපත් කිරීමට ගැසට් පත්‍රයේ අතිරේක තුනක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අදාළ ගැසට් පත්‍ර අතිරේක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා නමින් 2023 ජූනි 26 වන දා ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවකදී රටේ ඇති වී ඇති යම්කිසි අර්බුදකාරී තත්ත්වයක් නිසා ප්‍රකාශිත පරිදි අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකිවන තත්ත්වයක් පැන නැගී ඇති අවස්ථාවක මහ නගර සභා ආඥා පනතේ 10 (2) (ආ) විධානය පරිදි අමාත්‍යවරයා විසින් ධූර කාලය දීර්ඝ කරන ලද කාල සීමාව මාස 12ක් ඉක්ම ගොස් තිබෙන නමුත්, අමාත්‍යවරයා විසින් තීරණය කරනු ලබන තව ත් යම් කාල සීමාවක් සඳහා අදාළ විසිරුණු සභාව නැවත කැඳවීමට හැකි විය යුතු බවට මහ නගර සභා ආඥා පනතට සංශෝධන එක් කිරීමට අපේක්ෂා කෙරෙනවා.

නගර සභා සහ ප්‍රාදේශීය සභා පනත්ද මේ අයුරින් ම සංශෝධනය කිරීමට අදාළ ගැසට් පත්‍රයේ අතිරේකවල සඳහන් වෙනවා.

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගෙන ඡන්ද විමසීම දෙවරක් කල් දමා මේ වන විට දින නියමයක් නොමැතිව මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද විමසීම කල් දමා ඇති පසුබිමක මෙසේ මෙම පනත් සඳහා සංශෝධන ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.