hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 06, පෙ.ව. 12:09



අධ්‍යාපන පැකේජ මගින් දැනුම ලබා දෙන බව පවසමින් රුපියල් මිලියන 800ක මහා පරිමාණ පිරමීඩ ජාවාරමක නිරත වූ බව කියන කුරුණෑගල ව්‍යාපාරික පාසලක් හිමි ආචාර්යවරයකුගේ විදෙස් ගමන් වහාම තහනම් කරන ලෙස අධිකරණය නියෝග කරනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව කුරුණෑගල එරා මිරකල් පුද්ගලික සමාගමේ සහ ජෙනියිස් නමැති ව්‍යාපාරික පාසලේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ආචාර්යවරයකු බව කියන රණසිංහ ආරච්චිලාගේ ධම්මික කුමාර රණසිංහ නමැති අයගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් එලෙස නියෝග කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිරාකරණ හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

අධිකරණයට දන්වා සිටින්නේ, මෙම නීති විරෝධී පිරමීඩ ජාවාරමට විදුහල්පතිවරුන්, ගුරුවරුන්, රජයේ නිලධාරීන්, බැංකු නිලධාරීන්, ව්‍යාපාරිකයන් ඇතුළු දහසකට අධික පිරිසක් හසු වී ඇතැයි අධිකරණයට දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රට පුරා ප්‍රදේශ රැසක ජනතාව ඒ අතර සිටින බවයි.

මෙම සිද්ධියට අදාළව සිදු කරන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: