hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 17, ප.ව. 7:01



රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඉන්ධන අර්බුදය හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීම දුර්වල මට්ටමක පැවතීම සහ පෞද්ගලික ප්‍රවාහන මාධ්‍යයක් උපයෝගී කර ගනිමින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම දුෂ්කර වීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙන්නේ.

සිකුරාදා දිනයේ රජයේ කාර්යාල විවෘත නොකිරීමට ගත් තීරණය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.

ඊට අමරතව, ලබන සඳූදා දිනයේ (20) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් රජයේ නිලධාරීන් කාර්යාල වෙත කැඳවීම සීමා කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අවශ්‍ය අවම කාර්ය මණ්ඩලය සේවයට කැඳවා ගැනීමට තීරණය කිරීම අදාළ ආයතනයේ ප්‍රධානීන්ට පැවරෙනවා.

අදාළ චක්‍රලේඛය අනුව, සේවය සඳහා කාර්යාලය වෙත නොපැමිණෙන දිනයන්හිදී රාජ්‍ය නිලධාරීන් නිවසේ සිට ඔන්ලයින් ඔස්සේ සේවය කළ යුතුයි.

රජයේ කාර්යාල වෙත නිලධාරීන් සේවයට කැඳවීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය සමග සාකච්ඡා කර අවශ්‍ය බස් රථ ලබා ගැනීමට එම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ද උපදෙස් දී තිබෙනවා.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය සේවාවන්ට අදාළ නිලධාරීන්ට මෙම ක්‍රමය අදාළ නොවනු ඇත.