hit counter

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා

2025 ජනවාරි 18, පෙ.ව. 12:06



රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව පවසා බලයට ආ ආණ්ඩුව රාජ්‍ය සේවකයන් 750,000ක් සේවයෙන් ඉවත් කරන බව ප්‍රකාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා ඒ පිළිබඳව සඳහන් කළේ දේශපාලන පළිගැනීම් ඉදිරිපත් කිරීම සඳහා නව කාර්යාලයක් බත්තරමුල්ල, නෙළුම් මාවතේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

ආණ්ඩුව මැතිවරණ කාලයේදී දීපු පොරොන්දු නෙවෙයි ඉටුකරමින් සිටින්නේ. ආණ්ඩුව කරන ප්‍රකාශවලින් දේශපාලන දඩයමකට සූදානම් වන බව පේන්න තිබෙනවා. ආණ්ඩුව රාජ්‍ය සේවකයන් ඉවත් කරන බව ප්‍රකාශ කළත් ඒ සඳහා තිබෙන වැඩපිළිවෙළ කුමක්ද කියලා ප්‍රකාශ කරලා නැහැ.

එම තත්ත්වය තුළ දේශපාලන පළිගැනීමට ලක්වන සියලුදෙනාම වෙනුවෙන් පෙනී සිටීමට අපගේ පක්ෂයේ නීතිඥ සංගමය තීරණය කළා. ඒ අනුව තමයි දේශපාලන පළිගැනීම් ඉදිරිපත් කිරීම සඳහා මෙම කාර්යාලය ආරම්භ කළේ.

රාජ්‍ය යාන්ත්‍රණය තුළ යම් දඩයමක් ක්‍රියාත්මක වන බව පේන්න තිබෙනවා. ඒ තුළ වෘත්තීය සමිති නායකයන්ට සිදුවන අසාධාරණයට එරෙහිව අපි කටයුතු කරනවා.

මේ ආණ්ඩුවේ නොහැකියාව සමාජගත වෙලා අවසන්. මේ ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැහැ. ආණ්ඩුව දැන් සූදානම් වන්නේ යහපාලන ආණ්ඩුව වගේ දේශපාලන මර්දනය ගෙනල්ලා අපි හොරා ඇල්ලුවා ඔන්න හොරු රිමාන්ඩ් කළා කියලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්න. එක පැත්තකින් ආණ්ඩුවට මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා. මාධ්‍ය මර්දනයේ ඊළඟ පියවර දේශපාලන මර්දනය බව පැවසූ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අපිට බොරු චෝදනා දාලා අපේ ගමන නැවැත්විය නොහැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: