hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 අප්‍රේල් 27, පෙ.ව. 11:04



වෛද්‍යවරුන්ගේ හිඟය නිසා දැඩි අවදානමක පවතින හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය සායන ඉදිරි දෙසතිය තුළ වසා දැමීමට සිදුවෙනු ඇති බවත් රෝහල පවත්වාගෙන යෑමේ පවා අවදානමක් ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. 

එම රෝහලේ දැනට ඉතිරි වී සිටින ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනාත් ඉදිරි දෙසතිය තුළ රෝහල හැර යෑමට නියමිත බවත් එක් වෛද්‍යවරයකු මේ වන විටත් සේවය හැර යෑමේ ලිපි ලබාදී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කළා.

අනෙක් ශල්‍ය වෛද්‍යවරයාද ස්ථාන මාරුවක් ඉල්ලා ඇති අතර ස්ථාන මාරුව නොලැබුණහොත් ඉල්ලා අස්වීමට සූදානම්ව සිටින බවද රෝහල් ආරංචි මාර්ග පැවැසුවා.

මීට අමතරව නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් වෛද්‍යවරයෙක් ඉදිරි දෙසතිය තුළ සේවයෙන් ඉවත් වන අතර අනෙක් වෛද්‍යවරයාද රෝහල හැර යෑමට නියමිත බව පැවැසෙනවා.

හම්බන්තොට මහ රෝහලේ ළමා රෝගී දැඩි සත්කාර ඒකකයට වෛද්‍යවරුන් හයදෙනකු අවශ්‍ය වුවත් මේ වන විට ඇත්තේ වෛද්‍යවරුන් දෙදෙනෙක් බැවින් ළමා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ළමා රෝගී අංශයේ වෛද්‍යවරයකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළා.

එමෙන්ම ගර්භණී මවුවරුන්ට අවශ්‍ය හදිසි ප්‍රතිකාර සහ ශල්‍යකර්ම විශාල අවදානමක් මධ්‍යයේ මේ වන විටත් සිදු කරන අතර එම ප්‍රතිකාර නිසි ක්‍රමවේදයට සිදු කිරීමට නොහැකි වුවහොත් ගර්භණී මවුවරුන් වෙනත් රෝහලකට මාරු කර යැවීමට සිදු වන බවද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

හම්බන්තොට මහ රෝහලට අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සියයට හැත්තෑවක් මේ වන විටත් රෝහල හැර ගොස් ඇති බැවින් මේ පිළිබඳව රෝහල හැරගොස් සිටින වෛද්‍යවරුන්ගෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ තමාට හිමි වැටුපට අධික ලෙස බදු අය කිරීම හේතුවෙන් ආර්ථික අර්බුදයට මුහුණදීමට සිදුව ඇති බැවින් මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම මේ හේතුව නිසා රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් දැඩි පීඩනයකට ලක්ව ඇතැයිද හිඟ වෛද්‍යවරුන්ගේ සේවයත් දැනට ඉතිරි වී සිටින වෛද්‍යවරුන් විසින් කෙසේ හෝ ආවරණය කිරීමට සිදු වී ඇති බැවින් දැඩි තෙහෙට්ටුව නිසා යහපත් මානසික මට්ටමක සිට ප්‍රතිකාර කිරීමට නොහැකි වී ඇති බව රෝහලේ දැනට සේවය කරන වෛද්‍යවරු සඳහන් කළා. 

නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති වූ විට හදිසි ප්‍රතිකාර සිදුකළ නොහැකි වන අතර දැනට දෙබරවැව මූලික රෝහලේ සහ ඇඹිලිපිටිය මහ රෝහලේද නිර්වින්දන වෛද්‍යවරුන් නොමැතිකමින් එම සේවාවන් සියල්ල අඩපණ වී තිබෙනවා.

ආසන්න රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකකය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් හදිසි අනතුරකට භාජන වන රෝගියකුට මූලික ප්‍රතිකාර කිසිවක් හම්බන්තොට මහ රෝහලේදී හෝ ආසන්න රෝහලකින් කර ගැනීමට නොහැකි වන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

මීට අමතරව හම්බන්තොට මහ රෝහලේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් හිඟ බව රෝහලේ ඖෂධ කළමනාකාරවරයකුගෙන් කළ විමසීමකදී සඳහන් කළා.

ඉතා අත්‍යවශ්‍ය සමහර ඖෂධ අවට පෞද්ගලික වෙළෙඳසළවලත් නොමැතිකමෙන් රෝගීන්ට අහිමි වූ අවස්ථාද වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළා.

මේ හේතුවෙන් ඉදිරියේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝගීන්ට ජීවිත අවදානමකට මුහුණදීමට සිදු වෙන අතර රජය මැදිහත්ව මීට නිසි විසදුමක් ඉතා ඉක්මනින් ලබාදිය යුතු බව ප්‍රදේශය නියෝජනය කරන ප්‍රජා නායකයෝ, දේශපාලන නායකයෝ හා ආගමික නායකයෝ පැවැසූවා.