hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 21, පෙ.ව. 5:28



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ සහ සළිඳු මල්ශික හෙවත් ‘කුඩු සළිඳු’ යන අයගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ දෙමව්පියන් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමට අදාළව අප්‍රේල් මස 4 වැනිදා ට පෙර සීමිත විරෝධතා ගොනුකරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (20) නීතිපතිවරයාට කල් ලබා දුන්නා.

එම පෙත්සම ඊයේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බව දැනුම් දුන්නා.

එම සැකකරුවන් දෙදෙනා කොටුව මහෙස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කළ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියා.

මෙම අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අත්අඩංගුවේ පසුවන තම සේවාදායකයින්ගේ ජීවිත ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක් වී තිබෙන බව දන්වා සිටියා.

‘කුඩු සළිඳු’ නමැති විත්තිකරුගේ පියා ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පසුගිය කාලයේ රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටි ‘මාකඳුරේ මධුෂ්’ නමැති සැකකරු රැඳවුම් නියෝග අවසන් වී දින දෙකකින් පසුව විමර්ශන කටයුතු සඳහා පිටස්තර ස්ථානයකට රැගෙන ගිය අවස්ථාවේදී වෙඩි තබා මරා දැමු බව පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර ත්‍රස්තවාදි සංවිධාන හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වමින් අවි ආයුධ රැස් කොට වෙඩික්කරුවන් යොදා ශ්‍රී ලංකාව තුළ මිනීමැරුම් ඇතුළු අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් තම සේවාදායකයාට චෝදනා එල්ල වී තිබෙන බව ඔහු වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයේ සඳහන් වන බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

මෙවැනි බරපතළ චෝදනා එල්ල වූ සැකකරුවකු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය මගින් විමර්ශන සිදුකිරීම විමතිය දනවන කරුණක් බවත් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කියා සිටියා.

‘හරක් කටා’ නැමති සැකකරු වෙනුවෙන් ඔහුගේ පියා ඉදිරිපත් කළ පෙත්සම සඳහා පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එම සැකකරුගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම රජයට තිබෙන බව සඳහන් කළා.

එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම පෙත්සම් මුළුමනින්ම උපකල්පනය කරන ලද කරුණු මත ගොනුකර තිබෙන හෙයින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.

එම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා හා ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති වුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම්වලට අදාළ සීමිත විරෝධතා අප්‍රේල් මස 4 වන දා ට පෙර ගොනුකරන ලෙස අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයාට නියෝග කළා.