hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 20, ප.ව. 2:51



එළඹෙන මාස 3 ඇතුළතදී තමන්ට නිසි පරිදි කටයුතු සිදු කිරීමට නොහැකි වුවහොත් හෝ බැසිල් රාජපක්ෂ මහතා කකුලෙන් ඇදීමක් සිදු කළහොත් අමාත්‍ය ධුරයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවා.

ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ දී අද (20) විශේෂ මාධ්‍ය හමුවක් අමතමින්.

රටේ ආර්ථික අර්බුදය හමුවේ හදවතින් කල්පනා කර තීරණයක් ගත් බවත්, ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යා යුතුය යන තම ස්ථාවරය දශමයක්වත් වෙනස් වී නොමැති බවත් ඒ මහතා සඳහන් කළා.

මේ අවස්ථාවේ කල්පනා කළ යුත්තේ රටට අවශ්‍ය පක්‍ෂ දේශපාලනයක්ද, පවතින අර්බුදයන්ට විසඳුමක්ද යන්න බව ද හෙතෙම ප්‍රකාශ කළා.

තමන් සමඟි ජන බලවේගය අතහැර නොමැති බව කී ඇමතිවරයා  පක්‍ෂය නිර්පාක්ෂික අරගලයක් වෙනුවෙන් ස්වාධීන වූ බව ද සඳහන් කළා.

ඒ නිසා තමන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වූවත් සජබය සමඟ තරහ නොවන බව කී හරීන් ප්‍රනාන්දු මහතා තමන් ගත්තේ පක්‍ෂයට ගත නොහැකි වූ නමුත් ගත යුතුව තිබූ තීරණය බව ද පැවසුවා.

සමගි ජන බලවේගයේ ලාංඡනයේ සිට මැයි පෙළපාලිය දක්වා සියලු කටයුතු සිදුකළ තමන්ට මෙම තීරණය ගැනීමට ඉතා අපහසු වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

එමෙන්ම ඔහු සඳහන් කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන් ගෙන ඒමට පොරොන්දු වූ බැවින් තමා හා මනූෂ නානායක්කාර අමාත්‍ය ධුර භාරගත් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඊට අමතරව තවත් කොන්දේසි 7ක් පිළිබඳව රනිල් වික්‍රමසිංහ
සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අමාත්‍යධුරය භාරගැනීමට එකඟ වූ බවයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.