hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 07, ප.ව. 7:47



සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන් පාර්ලිමේන්තුවෙන් පිටව යද්දී පාර්ලිමේන්තුවට නුදුරු ජයන්තිපුර ප්‍රදේශයේදී උද්ඝෝෂණකරුවන් පිරිසක් ඔවුන් ගමන් ගත් වාහන හරස් කර නතර කරවා ගෙන ඔවුන්ට බැන තර්ජනය කිරීම නිසා  ඒ ස්ථානයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඊයේ (6) පස්වරුවේ ඇති වුණා.

“උඹලා ඔක්කොම එකයි. මෙච්චර දවස් කළේ උඹලා  ඩීල් දාපු එක.මුන්ට යන්න දෙන්න හොඳ නැහැ” යනුවෙන් පවසමින් උද්ඝෝෂණකරුවෝ මෙහිදී  හඬ නගා සිටි අතර මන්ත්‍රීවරුන්ද මෙහිදී අදහස් දැක්වීමට උත්සාහ දැරුවත් ඊට උද්ඝෝෂණකරුවන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැහැ.

මන්ත්‍රීවරුන් තිදෙනා ඒ ස්ථානයෙන් පිටවී යාමට උත්සාහ දැරූ අවස්ථාවේදීද උද්ඝෝෂණකරුවන්ගෙන්  දැඩි බාධා එල්ල වූ අතර ඔවුන් ඒ ස්ථානයෙන් පසුව දැඩි පරිශ්‍රමයක් දරා පිටව ගියේ  උද්ඝෝෂණකරුවන්ගේ හූ හඬ මැදයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සිය මුහුණුපොතට වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කළේ එම සිද්ධිය පිළිබඳව තමා කණගාටු වන බවයි.

පාර්ලිමේන්තුව තුළ දරුණු සටහනක් කොට පාර්ලිමේන්තුවේ පිටත සිටින ජනතාවට ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑ බවත් ඔහු සඳහන් කළා.

මෙලෙස අරගලය සිදු කිරීමේ ඉලක්කය පිළිබඳව ගැටළුවක් පවතින බවත් සඳහන් කළා.

තමා පාර්ලිමේන්තුව තුල ජනතාව වෙනුවෙන් සටන් කරන බවත් තමන් කිසිදු වරප්‍රසාදයක් ලබා ගැනීමක් සිදු නොකරන බවත් පඩිය සහ කෑම වේල නොගන්නා බවට තමා පොරොන්දුවක් ලබා දී ඇති බවද අමාත්‍යවරයා පවසා සිටියා.

තමන් දේශපාලනික වශයෙන් මෙම අරගලය අතනොහරින බවත් අරගලය නොතේරී බෙදීමට ගියහොත් එය දරුණු ප්‍රශ්නයක් වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

https://streamable.com/rnhugl