hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 මැයි 05, ප.ව. 8:33



ජනමතයට ගරු කරමින් ආණ්ඩුව ඉවත් නොවීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව හෙට (06) දින හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශය මෙන්ම වතු, ගොවි, ධීවර සහ බහුජන සංවිධාන ද ඊට එක්වෙනවා.

ගුරු – විදුහල්පතිවරු, සෞඛ්‍ය, තැපැල්, වරාය, බැංකු, විදුලිබල, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සංගම් ගණනාවක් හෙට මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව අද මාධ්‍ය හමු පවත්වමින් සඳහන් කළා.

සමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තීය සමිති සංගමයේ සමන් රත්නප්‍රිය මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මේ රටේ පෞද්ගලික අංශය, රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය අංශය සම්පුර්ණයෙන්ම වැඩ වර්ජනය කරන්න නියමිතයි. ඒත් එක්කම එදාට රට පුරා හර්තාල් ව්‍යාපාරයක් දියත් වෙනවා. ගෙවල්වල කළු කොඩි දාන්න, වෙළඳසැල් වහන්න, කඩ වහන්න.”

රට තුළ උද්ගත වී ඇති බරපතළ අර්බුදකාරි තත්ත්වය නිවැරදි කිරීම වෙනුවට දේශපාලන උප්පරවැට්ටිවලින් මහජනතාව රවටන පාලක පක්ෂයට එරෙහිව ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය සහාය දැක්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (06) දින සිට ක්‍රියාත්මක වන පරිදි යෝජිත එක්දින වැඩ වර්ජනයට සහ හර්තාල් ව්‍යාපාරයට තම දෙපාර්තමේන්තුවේ සියලුම මාණ්ඩලික හා විධායක නිලධාරින් සහාය පළ කරන බව ද නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසනවා.

මේ අතර, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක් දින සහ අනෙකුත් සේවා හෙට සිට ක්‍රියාත්මක නොවන බව ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

හෙට (06) ක්‍රියාත්මක කිරීමට නියමිත හර්තාලයට සහය දෙන බවට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෘත්තීය සමිති සියල්ල මෙතෙක් ලිඛිතව හෝ වාචිකව දැනුම්දී නොමැති බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඒ හේතුවෙන් හෙට දිනයට නියමිත දෛනික දුම්රිය ගමන්වාර 275 අවලංගු කිරීමකින් තොරව ධාවනයට අපේක්ෂා කරන බවයි.

කෙසේ වෙතත්, දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට දිනයේ ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය සඳහා සහාය දක්වමින් අද මධ්‍යම රාත්‍රියේ සිට සියලුම සේවා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කළ බවයි.

කෙසේ වෙතත්, පෞද්ගලික බස් සංගම් පවසන්නේ තමන් ඊට සහය පළ කරමින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බවයි.

එහෙත්, ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සාමාන්‍ය පරිදි ධාවනයට කටයුතු කරන බවයි එහි සභාපති කිංස්ලි රණවක මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

මේ අතර, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ හෙට පැවැත්වෙන හර්තාල් ක්‍රියාමාර්ගයට වෘත්තීය සමිති දහසකට අධික සංඛ්‍යාවක් සහය පළ කරන බවයි.

ජල සම්පාදන සේවක සංගමයේ ලේකම් උපාලි රත්නායක මහතා ද අද පැවති මාධ්‍ය හමුවකදී වර්ජන ක්‍රියාමාර්ගයට තම වෘත්තීය සමිති ද සහභාගි වන බව ප්‍රකාශ කළා.

එමෙන්ම රජයේ හා පෞද්ගලික බැංකු හර්තාල් ව්‍යාපාරයට සහය දක්වන බවයි ලංකා බැංකු සේවකයින්ගේ සංගමය කියා සිටියේ.

මේ අතර, හෙට පැවැත්වෙන වර්ජන හා හර්තාල් ක්‍රියාමාර්ගයට සහය පළ නොකරන බව පළාත් සභා හා පළාත් පාලන සේවක සංගමය සඳහන් කළා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳව අදහස් දක්වමින් එම සංගමයේ සම්බන්ධීකරණ ලේකම් එස්.ඒ. ආනන්ද මහතා කියා සිටියේ සාමාන්‍ය ජනතාව අපහසුතාවයට පත් නොකර තම සංගමය හෙට රාජකාරිවල නිරත වන බවයි.

ගුරු – විදුහල්පති හා ගුරු උපදේශකවරුන් ද මෙම වර්ජන ක්‍රියාමාර්ගයට සහය පළ කරන බව අද පැවති මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය කියා සිටියේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා අන්තවාදී ගුරු විදුහල්පති සංගම් රාජ්‍ය විරෝධී වර්ජනයකට යොමුව ඇති බවයි.

සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා ඊයේ (04) මාධ්‍ය හමුවකදී කියා සිටියේ පාසල් විභාග පැවැත්වෙන බැවින් තම සංගමය වර්ජනයට එක් නොවන බවයි.

එහෙත්, වර්ජනයට සහය පළ කරමින් කළු කොඩියක් සහිත පාසල් ප්‍රවාහන සේවා හෙට දිනයේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව ද ඔහු සඳහන් කළා.