hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 06, පෙ.ව. 10:17



ජනමතයට ගරු කරමින් ආණ්ඩුව ඉවත් නොවීමට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුව අද (06) දින හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශය මෙන්ම වතු, ගොවි, ධීවර සහ බහුජන සංවිධාන ද ඊට එක්වෙනවා.

ගුරු – විදුහල්පතිවරු, සෞඛ්‍ය, තැපැල්, වරාය, බැංකු, විදුලිබල, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සංගම් ගණනාවක් අද මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඊයේ මාධ්‍ය හමු පවත්වමින් සඳහන් කළා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශ වල රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වසා දමා ඇති අතර බොහෝ පිරිස් රාජකාරි සඳහා ද වාර්තා කර නොමැති බවයි.

හර්තාල් ක්‍රියාත්මක වන අද දිනයේ ප්‍රවාහන සේවා නිසි පරිදි ක්‍රියාත්මක වන අතර බොහෝ කාර්යාල වසා දමා තිබෙනවා.

මේ අතර කොළඹ ජාතික රෝහලේ හර්තාල් ක්‍රියාත්මක වුවද රෝගීන්ට ප්‍රතිකාර ලබා දෙන අයුරුද දක්නට ලැබුණා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේද අද පාළු ස්වභාවයක් ගෙන තිබුණා.

මේ අතර බොහෝ පාසල් වලට සිසුන් හා ගුරුවරුන් පැමිණ සිටියේ නැහැ.

අද දින ක්‍රියාත්මක වන රජයට එරෙහි හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් මහනුවර නගරයේ බොහෝ දෛනික කටයුතු අඩපණ වී තිබෙන ආකාරයක් දක්නට ලැබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

මහනුවර ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර කටයුතු පමණක් සිදුකරන අතර ශ්‍රී ලංගම බස් රථ පමණක් යම් ප්‍රමාණයක් ධාවනය වන අතර පෞද්ගලික බස් රථ කිසිවක් හෝ ධාවනය නොවන බවත් මහනුවර දුම්රිය ස්ථානයෙන් කිසිදු දුම්රිය ධාවනය නොවූ අතර කිසිදු දුම්රියක් නොපැමිණි බව දුම්රිය ස්ථාන සේවකයෝ පවසා සිටියා.                                        

මහනුවර නගරයේ පාසල් වෙත පාසැල් සිසුන් හෝ ගුරුවරුන් පැමිණ නැති අතර රාජ්‍ය ආයතන කාර්ය මණ්ඩල සේවයට නොපැමිණ ඇති බැවින් එම කටයුතු අඩාල වී ඇති බව සඳහන් වෙනවා.

මහනුවර නගරයේ අද එතරම් ජනතාව දක්නට නොලැබෙන අතර ශ්‍රී ලංගම රියදුරන් සඳහන් කළේ බස්රථ යම් ආකාරයකින් ධාවනය වුවද ප්‍රවාහනය සඳහා මගින් නොමැති බවයි.

මේ අතර හර්තාල් ව්‍යාපාරයට සහයෝගය ලබාදෙමින් මහනුවර නගරයේ සියලුම ව්‍යාපාරික ස්ථාන වසා දමා තිබෙනවා.

හර්තාලයට සහාය පලකරමින් ගාල්ල නගරයේ කඩසාප්පු වසා දමා තිබු  අතර ගාල්ල බස්නැවතුම්පොළ ද පාළුවට ගොස් තිබෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

බස්නැවතුම් පොළේ ශ්‍රි ලංගම බස්රථ කිහිපයක් පමණක් දක්නට ලැබුණු අතර ගාල්ල නගරයේ තැනින් තැන කළු කොඩි ඔසවා තිබු අතර පුද්ගලික බස් රථ සියල්ලම පාහේ ධාවන කටයුතුවලින් ඉවත්ව තිබෙන බවද වාර්තා වෙනවා.

රාජ්‍ය අංශය , පෞද්ගලික අංශය සහ බහුජන සංවිධාන විසින් රජයට එරෙහිව (06) දින දියත් කර ඇති හර්තාල් ව්‍යාපාරයට සමගාමිව නුවරඑලිය දිස්ත්‍රික්කයේ සියළුම නගර වසා දමා හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දැක්විමට  නගර වල වෙලද සංගම් පියවර ගෙන ඇත.

නුවරඑලිය නගරයේ සියළුම වෙලදසැල් වල කළු කොඩි ඔසවා තිබු අතර පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වි තිබු බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ලංගම බස් රථ ධාවනයට එක් කර තිබුණද එම බස් රථවලින් ගමන් කිරිමට එතරම් මගින් සංඛ්‍යාවක් නොසිටින බවත් වාර්තා වෙනවා.

මේ අතර හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දක්වා හැටන් ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් හැටන් නගර මධ්‍යට පැමිණි උද්ඝෝෂණයක් ආරම්භ කර පසුව ඔහුන් පාගමනින් කොටගල නගරය දක්වා ගමන් කළ බවද අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර හර්තාල් ව්‍යාපාරය සඳහා දඹුල්ල, ගලේවෙල, නාඋල, සීගිරිය ආදී ප්‍රදේශ රැසක අද දින කඩසාප්පු වසා දමා කළු කොඩි ඔසවා විරෝධතා රැලි මාලාවක් සංවිධානය කොට තිබූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය උදෑසන සිටම අඩපණ වී තිබුණු අතර පෙරදින රැගෙන ආ එළවළු අලෙවි නොවීම නිසා ආර්ථික මධ්‍යස්ථානයේ තැන තැන ගොවීන් විසින් තබා ගෙන සිටින ආකාරයත් ආර්ථික මධ්‍යස්ථානයේ ඇතැම් වෙළඳසැල් විවෘත කොට තවත් වෙළෙඳ සැල් වසා දමා තිබෙනවා.

ප්‍රධාන ගේට්ටු සියල්ලම විවෘත කර ආර්ථික මධ්‍යස්ථානය විවෘතව තිබීම ද විශේෂත්වයක් බව අප වාර්තාකරු සඳහන් කළා.

දඹුල්ල දඹුලු ඔය ප්‍රදේශ්යේ පෞද්ගලික කර්මාන්තශාලාවල සේවක සේවිකාවෝ කළු ඇඳුමෙන් සැරසී කළු කොඩි අතැතිව කිලෝමීටර් හයක් පමණ දුර ඒ නමය ප්‍රධාන මාර්ගයේ එක් පසක් වසාගෙන දඹුල්ල නගරය දක්වා විරෝධතා පෙළපාලියකින් පැමිණ තිබෙනවා.

දඹුුල්ල නගරයේ ස්වෙච්ඡා සංවිධාන ඒකාබද්ධව ගම්මුදාව ක්‍රීඩා පිටියෙන් ආරම්භ කළ තවත් විරෝධතා රැළියක්  ප්‍රධාන මාර්ගය එක් පසක් වසාගෙන නගරයට සහ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයට ගමන් කරමින් නැවත ආර්ථික දඹුල්ල ඔරලෝසු කණුව ඉදිරිපිට විරෝධතාවයේ නිරත වී සිටිනවා.

දඹුල්ල මූලික රෝහල සහ රාජ්‍ය ආයතන රැසක් ද සේවක සේවිකාවෝ පස්වරුවේ මෙම විරෝධතාවයට එක් වීම විශේෂත්වයක්.

දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේේ සේවය කරන නීතිවේදීහු ද දවල් 12න් පසුව උසාවිය භූමිය ආසන්නයේ සිට දඹුල්ල නගරයට පාගමනින් ගොස් විරෝධතාකරුවන් සමග මෙම අරගලයට එක් වීම විශේෂත්වයක්.

නගරයේ කඩ සාප්පු වසා කළු කොඩි ඔසවා මෙම හර්තාල් ව්‍යාපාරයට සහයෝගය ලබාදී තිබෙනවා.

මේ අතර ආණ්ඩුවට එරෙහිව දීපව්‍යාප්ත හර්තාලයට සහය දෙමින් අද (06) දින උතුරු පලාතේද පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් දෛනික සියලුම කටයුතු අඩාල වී ඇති අයුරු දක්නට ලැබුණු බවයි අප ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

උතුරේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතනද සියල්ලකම දෛනික කටයුතු අඩාල වී තිබූනේ සේවකයින් සේවයට වාර්තා කර නොතිබීම හේතුවෙන්.

එමෙන්ම උතුරේ සියලුම පාසල්හිදී දෛනික අධ්‍යාපනික කටයුතු සිදු නොවූවේ ආචාර්යවරුන් මෙන්ම විදුහල්පතිවරුන්ද සේවයට වාර්තා කොට නොතිබූ අතරම පාසල් සිසු දරුවන්ද නොපැමිණීමෙනි.

තවද ගමනාගමන කටයුතුද අඩාල වී තිබූ අයුරු දැකගත හැකි වූ අතරම පිටපලාත් ලංගම බස් කිහිපයක් පමණක් ධාවනයට එක්ව තිබුණා.

මේ අතර උතුරේ දිස්ත්‍රීක්ක පහේම පිහිටි වෙළඳසැල් සියල්ලක්ම වසා දමමින් පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට උතුරේ වෙළඳ හිමියන්ගේ සංගමය විසින්ද පියවර ගෙන තිබුණා.

(මහනුවර – කමල් සුරවීර / ගාල්ල – ලලිත් චාමින්ද / හැටන් – රංජිත් රාජපක්ෂ / දඹුල්ල – කාංචන කුමාර ආරියදාස / වන්නි – රොමේෂ් මදුසංඛ)