hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 27, පෙ.ව. 7:37



රුපියල් කෝටි තිහක මුදලක් වැය කරමින් සකස් කළ ජාතික ‘සඳුන් උයන’ පිහිටි භූමියේ නව ජනාධිපති මන්දිරය හා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිකිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යටතේ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය වෙනත් සංවර්ධන ව්‍යාපෘතියකට යොදා ගැනීමට තීරණය කර ඇති බැවින් නව ජනාධිපති මන්දිරයක් සහ ජනාධිපති ලේකම් කාර්යාලයක් ඉදිකිරීමට තීරණය වී ඇතැයි වාර්තා වනවා.

ඒ සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රය ආසන්නයේ අක්කර නවයක සකස් කළ ජාතික සඳුන් උයන භූමිය සුදුසු බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාද නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව ඉදිරි සැලසුම් සකස් කර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබෙනවා.

ජාතික සඳුන් උයන භූමියට ආසන්නයේ පිහිටි තවත් ඉඩමක අගමැති කාර්යාලය, අගමැති නිල නිවස ඉදිකිරීමටද තීරණය වී ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කළා.

ඒ ආසන්නයේ පිහිටි තවත් ඉඩමක අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඉදිරිකිරීමට ඇති හැකියාවද සොයා බලන ලෙස ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී තිබෙනවා. මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය ඉඩ ප්‍රමාණ අධ්‍යයනය කර වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට දැනුම් දී තිබෙනවා.