hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූලි 24, ප.ව. 1:26



විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු බවට බහුතර මහජන කැමැත්ත පළ වී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය සදහන් කරනවා.

වෙරිටේ රිසර්ච් ආයතනය විසින් දිවයින පුරා තෝරා ගන්නා ලද විවිධ ජන කොටස් සහභාගී කර ගෙන විධායක ජනාධිපති ධූරය සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර තිබෙනවා.

එම සමීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇතැයි එම ආයතනය පෙන්වා දෙනවා.

මෙරට පවතින විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවට බොහෝ දේශපාලකයින් පවසා ඇති අතර පසුගිය කාල වකවානුවේ ඇතැම් පිරිස් බලයට පැමිණ ඇත්තේ තමන් පත්වූ වහාම විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බව පවසමින්.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පමණක් විධායක ජනාධිපතිවරයා සතුව තිබූ බලතල කිසියම් කප්පාදු කිරීමක් සිදු කළත් පොරොන්දු වූ පරිදි අහෝසි කිරීමක් සිදු කිරීමට කටයුතු කර තිබුණේ නෑ.

වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයට පිළිතුරු සපයා ඇති  අය අතරින් 70% කගේ අදහස වී ඇත්තේ විධායක ජනාධිපති ධූරය අප රටට අනවශ්‍ය බවයි.

සමීක්ෂණයට සහභාගි වූ අය අතරින් 15% කගේ අදහස වී ඇත්තේ විධායක ජනාධිපති ධූරය තව දුරටත් පැවතිය යුතු බවයි.

කිසියම් සීමිත බලතල ඇතිව විධායක ජනාධිපති ධූරය තව දුරටත් තබා ගත යුතුය යන්න සහ කිසිදු අදහසක් පළ කිරීමෙන් වැළකී සිටි පිරිස ඉතිරි කණ්ඩායම බව වෙරිටේ රිසර්ච් ආයතනය සදහන් කරනවා.

සියලූම ජාතීන් ඇතුළත් වන පරිදි, රටේ දීප ව්‍යාප්ත නියෝජනයක් පවතින බව තහවුරු වන ආකාරයට තෝරාගත් වැඩිහිටි පුරවැසියන් 1052ක් ඇසුරින් මෙම ජනමත විමසුම සිදුකර තිබෙනවා.

පුත්තලම – ජූඩ් සමන්ත