hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 අප්‍රේල් 18, පෙ.ව. 10:02



පෞද්ගලික රෝහල්වල ගාස්තු නියාමනය සඳහා අවශ්‍ය නීතිමය සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැනීම හරහා ජනතාවට සහනයක් ලබා දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ආර්ථික අර්බුදයට මුවා වී පෞද්ගලික රෝහල් මගින් ලබා දෙන සේවා සඳහා අය කරන ගාස්තු ද පසුගිය කාලයේදී වේගයෙන් ඉහළ නංවන ලද බව ත් ඒවා ජනතාවට දරාගත නොහැකි බවත් එහි සඳහන් කර තිබෙනවා.

විවිධ අවස්ථාවන්හි එම ආයතන තුළ ජනතාව සූරාකෑම සම්බන්ධයෙන් පැමිණිලි ද ලැබී ඇති නමුත් විසඳුම් ලැබීම ප්‍රමාද වීම ගැටලුවක් බවයි එම සංගමය එහි දක්වා ඇත්තේ.

ඖෂධවල මිල විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් රෝගී ජනතාව කබලෙන් ලිපට වැටී ඇති බවත් ආර්ථිකය යම් ආකාරයකට ස්ථාවර වීම හමුවේ උද්ධමනය පහළ ගොස් භාණ්ඩ හා සේවාවන්හි මිල පහළ යමින් පැවතිය ද ඖෂධ සහ පෞද්ගලික රෝහල්වල ගාස්තු කිසිදු ආකාරයකින් පහත නොවැටීම විමතියට කරුණක් බව ත් එහි සඳහන් කර තිබෙනවා.

ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමේ වගකීම පැහැරහරිමින් ඖෂධ අර්බුදයට විසඳුම් ලබා දීමට අසමත් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත තම සංගමයේ දැඩි විරෝධය පළ කරන බව ද එහි වැඩිදුරටත් දක්වා තිබෙනවා.