hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 මැයි 15, ප.ව. 12:09



වකුගඩු ආබාධ පිළිබඳව මහාචාර්ය වෛද්‍ය මහින්ද කේ.පේමසිරි මහතාගේ මෙහෙයවීමෙන් පසුගිය 12 වැනිදා කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ වකුගඩු රෝගී වෛද්‍ය සායනය නතර කරන ලෙසට ඉහළ වෛද්‍ය නිලධාරීන් කළ දැනුම්දීමක් මත එම සායනය නොපැවැත්වීම නිසා දුරබැහැර ප්‍රදේශයන්හි සිට පැමිණි රෝගීන්  විශාල පිරිසක් විවිධ අපහසුතාවන් රැසකට ලක්වූවා.

මෙම මහාචාර්යවරයාගේ උපදෙස් මත කොළඹ පිහිටි වෛද්‍ය ඒකකයේ නිලධාරීන් 20 පමණ මෙදින (12) තුළදී මෙය පැවැත්වීම සඳහා කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් පහසුකම් සපයන ලෙසට සති 2කට පමණ ඉහතදී ලිඛිතව ඉල්ලීමක් කොට බැනර් පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමෙන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවට පැමිණෙන ලෙසට දන්වා තිබෙනවා.

මේ අනුව කතරගම, සෙල්ලකතරගම, බුත්තල, බිබිල, හම්බන්තොට, තිස්සමහාරාම, වලස්මුල්ල යනාදී දුර බැහැර ප්‍රදේශයන්හි සිට පවා විශාල රෝගීන් පිරිසක් මෙම සායනය සඳහා පැමිණ තිබූ බව අසන්නට ලැබුණා.

මේ සම්බන්ධයෙන් මෙම වෛද්‍ය ඒකකයේ සම්බන්ධීකාරක වෛද්‍ය සංජය මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා මෙසේ සඳහන් කළා.

“වකුගඩු රෝග පිළිබඳව මැලේසියාවේ පදිංචි මහාචාර්ය මහින්ද කේ. පේමසිරි මහතාගේ උපදෙස් මත අසරණ ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා වකුගඩු බද්ධ කිරීමකින් සහ කාන්දුකරණයකින් තොරව නිට්ටාවට සුවපත් කිරීමේ උපදේසාත්මක වෛද්‍ය සායනයක් පැවැත්වීමටයි අපි කටයුතු සූදානම් කළේ. නමුත් අපට ඉකුත්  11දා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයකුගෙන් ඇමැතුමක් ලැබුණා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතියකින් තොරව මෙම සායනය පවත්වන්න එපා කියලා. අපි වෛද්‍යවරුන් පමණක් 20 දෙනකු පැමිණීමට සූදානමින් සිටියා. නවාතැන්පොළවල් සූදානම් කරගත්තා. අපිත් ස්වේච්ඡාවෙන් කරන්න ගිය වැඩක්. මේ අයුරින් තහනම් කරද්දී අපට මෙය කිරීමට හැකියාවක් නැහැ.”