hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූනි 18, පෙ.ව. 4:41




විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට දිගු වේලාවක් ඉන්ධන පෝලිම්වල රැඳී සිටීමට සිදුවීමෙන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර කටයුතු සඳහා ද මේ වනවිට බලපෑම් මතුවෙමින් පවතිනවා.

ඉන්ධන ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන්ට ප්‍රමුඛතාව ලබා නොදුනහොත් එම තත්ත්වය ඉදිරියේදී තවදුරටත් උග්‍ර වනු ඇති බවයි එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පැවසුවේ.

මේ අතර පෞද්ගලික රෝහල්වල ගිලන් රථ ඇතුළු සෞඛ්‍ය සේවයට අයත් වාහන රැසක් ඉන්ධන පෝලිම්වල සිරවීමෙන් සෞඛ්‍ය සේවාවන්ට එල්ලවෙමින් පවතින්නේ දැඩි තර්ජනයක්.

ඇතැම් පෞද්ගලික රෝහල්වල ගිලන් රථ මෙන්ම සෞඛ්‍ය සේවයට අදාළ විවිධ ක්ෂේත්‍රවලට අයත් රථ වාහන මෙන්ම වෛද්‍යවරුන්ගේ මෝටර් රථ ද විශාල ප්‍රමාණයක් ඉන්ධන පෝලිම්වල මෙලෙස සිරවී තිබෙනවා.

මෙවන් පසුබිමක පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමය බලශක්ති අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ පෞද්ගලික රෝහල් සඳහා ඉන්ධන හා විදුලි පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙසයි.

මේ අතර රට තුළ උග්‍රව ඇති තෙල් ගැටලුව හේතුවෙන් ඉදිරියේ දී හදිසි හෘද සැත්කම් පමණක් සිදු කිරීමට සිදුවන බව කොළඹ ජාතික රෝහලේ හෘදරෝග අංශයේ විශේෂඥ වෛද්‍ය එම්.එන්. ජසීල් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

හෘද රෝග වෛද්‍ය අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මාලික ද සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙලෙස හෘද රෝග සැපයුම් කප්පාදු කිරීමට හේතුව වන්නේ රෝහලේ තුළ පවතින දැඩි ඖෂධ හා පරිභෝජන ද්‍රව්‍ය හිඟය බවයි.

වෛද්‍ය ජසීල් පෙන්වා දෙන්නේ මෙම ගැටලුව සම්බන්ධයෙන් පසුගිය ජුනි මස 04 වැනිදින දැනුම්වත් කළ ද තවදුරටත් මෙම හිඟය සමග සේවා කටයුතු ඉදිරියට ගෙන යාම අපහසු බවයි.

ඉන්ධන ලබා ගැනීමේ දී පවා සෞඛ්‍ය සේවය අත්‍යවශ්‍ය සේවාවක් යැයි පැවසුවද වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය අංශ නිලධාරින් හට රෝහල් වෙත පැමිණීමට අවශ්‍ය ඉන්ධන නිකුත් කිරීම ප්‍රමාද මට්ටමක තිබෙන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ඉන්ධන පෝලිම්වල සෞඛ්‍ය අංශ නිලධාරින් හට බොහෝ අවස්ථාවලදී පැය 6ත් 10ත් අතර කාලයක් වැය කිරීමට සිදු වීම හේතුවෙන් මින් ඉදිරියේදී සෞඛ්‍ය සේවා කටයුතුවලට රෝහල් සඳහා පැමිණිය යුතු සිය කනිෂ්ඨ නිලධාරි මණ්ඩලයේ සිට ජ්‍යේෂ්ඨ නිලධාරි මණ්ඩලය දක්වා සේවක කප්පාදුවක් ද සිදු කරන බව වෛද්‍ය ජසීල් මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර රට තුළ පවතින දැඩි ඉන්ධන අර්බුදය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවක් වන සෞඛ්‍ය අංශයේ වෛද්‍යවරුන්, හෙද නිලධාරින් ඇතුළු සමස්ත සෞඛ්‍ය වෘත්තිකයින්ට සිය සේවය සැපයීමට රෝහල් වෙත පැමිණීමේ අපහසුතාවක් ඇති වී තිබෙන බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා.

තෙල් අර්බුදයට සෞඛ්‍ය වෘත්තිකයින් ද මුහුණපෑම නිසා නිසි වේලාවට වෛද්‍ය මධ්‍යස්ථාන වෙත පැමිණීමට නොහැකි වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය සේවකයින්ට ප්‍රමුඛතාව ලබා දී ඉන්ධන නිකුත් කිරීම සිදු නොකළහොත් ඉදිරියේදී රෝහල් තුළ සිදුවන මරණවල වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවට වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනතුරු අඟවනවා.

අත්‍යවශ්‍ය සහ හදිසි ප්‍රතිකාර අවශ්‍යම කරන හදිසි අනතුරු හා හෘද රෝග සඳහා පැමිණෙන වෛද්‍යවරුන්ගේ පැමිණීම ප්‍රමාදවීම් දැක්වෙන අතර, මාතෘ හා ළමා සායන පවා අකර්මණ්‍ය තත්ත්වයක පවතින බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි මාස දෙකෙන් රට තුළ ඖෂධ හිඟය අවසන් යැයි වරින් වර ප්‍රකාශ කළ ද, තවමත් ගැටලුව විසඳීමට ඇමති ඇතුළු රජය අපොහොසත් වී ඇති බවයි වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කළේ.

ගැටලුව විසඳීමට තම සංගම් විසින් යෝජනාවලියක් ඉදිරිපත් කළ ද රජය එය පිළිගැනීමට අකමැති නිසා ඉදිරියේ දී රෝගීන්ට සිදුවන අපහසුතා හා මරණ සම්බන්ධයෙන් ද රජය වගකීම භාරගත යුතු බව ද ඔවුන් අවධාරණය කළා.