hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 19, පෙ.ව. 8:25



දිස්ත්‍රික්ක 12 ක උණුසුම් තත්වය අද (19) දිනයේදී ද ඉහළ මට්ටමක පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වව්නියාව, අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල, කුරුණෑගල යන දිස්ත්‍රක්කවල උණුසුම් දර්ශකය 39 ත් 45 ත් අතර “අවධානය“ යොමු කළ යුතු අගයක් ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

මෙම තත්වය තුළ වැඩි වේලාවක් අව්වට නිරාවරණය වීමෙන් සහ ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් තෙහෙට්ටු තත්වයක් ඇතිවිය හැකි බවත්, ක්‍රියාකාරකම් වල නිරතවීම මගින් සිරුරේ විජලනය සහ ලවණ තත්වය ඉවත්වීම නිසා මස්පිඬු පෙරලීම් සිදුවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

වැඩ බිම් තුළ සිටින ජනතාව ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳව සැළකිලිමත් වන ලෙසත්, කුඩා ළමයින් වාහන තුළ තනිවම රඳවා නොයන ලෙසත්, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිතා කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට පහත පියවර දැඩි අවධානයෙන් අනුගමනය කරමු.

1. පිපාසය දැනෙනතෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්)
2. පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම
3. පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම
4. හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමු වීම
5. එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම
6. වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම

මෙම අවදානම් තත්ත්වය උද්ගතව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශ වල (විශේෂයෙන් බටහිර හා දකුණුදිග වෙරළ තීරයන් හි) පවතින අධික වියළි කාලගුණයත් සමග උෂ්ණත්වය වෙනදාට වඩා සැලකිය යුතු ලෙස ඉහළ යාමත් සමඟයි.

මෙම උෂ්ණත්වය අධික වකවානුවේ තමන්ගේ මෙන්ම අන් අයගේ ද යහ පැවැත්ම උදෙසා ඉහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඔබට අප යළිත් සිහිපත් කරමු