hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මාර්තු 28, පෙ.ව. 5:29



අන්තර්ජාතික මූල්‍ය අරමුදල මෙවර ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කළ කොන්දේසි සැබෑ කරගත නොහැකි සිහිනයක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

මේවායින් බොහෝමයක් එකිනෙක පරස්පර බැවින් ඉටුකර ගැනීම අතිශය දුෂ්කර බව ගැඹුරු ආර්ථික විශ්ලේෂණ තුළින් පෙනෙන්නට ඇතැයි මහාචාර්යවරයා සිටියා.

IMF ප්‍රකාශ කරන අන්දමට ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව 2026 වසර වන විට සංචිත ඩොලර් බිලියන 10.9 තෙක් වැඩි කරගත යුතුයි.

මධ්‍යම බැංකුවේ 2022 වසර වනවිට පැවති සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.9කි. ඒ පිළිබඳව සලකා බලන විට වසර තුනක් තුළ මෙපමණ සංචිත ප්‍රමාණයක් වැඩි කරගැනීමට තරම් ආර්ථික ශක්තියක් ලංකාවට නැති බවත් එසේ ශක්තියක් නැත්තේ දුර්වල සංකෝචිත ආර්ථිකයක් ශ්‍රී ලංකාව තුළ පවතින හෙයින් බවත් මහාචාර්යවරයා පවසනවා.

තවද රජයේ දළ මූලනය හෙවත් ණය ගෙවීම් 2026 වසර වනවිට සියයට 15.9 තෙක් අඩු කරගත යුතු බව ද අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අවධාරණය කරනවා.

2022 වසර වන විට සියයට 34.5 ක දළ මූලනයක පවතින ශ්‍රී ලංකාවට 2026 වසර වන විට එය සියයට 117 කින් පමණ අඩු කර ගැනීමට කොන්දේසි පැනවීම ද ප්‍රායෝගික නොවන බව මහාචාර්ය අතුකෝරළ මහතා පෙන්වා දෙනවා.

මූල්‍ය අරමුදල දමා ඇති කොන්දේසි යම්තාක් දුරට හෝ සැබෑවක් කර ගැනීමට නම් වහාම රජය අල්ලස දූෂණය සහ වංචාව නැති කිරීම, රාජ්‍ය ආයතන කාර්යක්ෂමතාව වහා වැඩි කරගැනීම සහ ආයතනයන්හි ඵලදායිතාව සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිකිරීම සඳහා සැලසුම් කළ යුතු යැයි ද හෙතෙම සඳහන් කළා.

නමුත් පවතින ආර්ථික දේශපාලන පසුබිම තුළ රජයේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීමේදී එවැනි තීරණයක් ගැනීමට හෝ එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි බව ද මහාචාර්යවරයා පෙන්වා දුන්නා.