hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අප්‍රේල් 27, ප.ව. 3:20



ඉන්දියාවේ රාමේෂ්වරන් සහ ධනුෂ්කොඩි මුහුදු ප්‍රදේශයට අනවසරයෙන් ඇතුලුවීමට ආ යාපනයේ වැසියන් 15 දෙනෙකු පෙරේදා (25) එරට ආරක්ෂක අංශ භාරයට පත්වී ඇති බවට වාර්තා වන්නේ.

ගතවූ මාර්තු මස 22 වනදා සිට මේ දක්වා උතුරු පලාතේ පිහිටි මුහුදු තීරයන් ඔස්සේ ඉන්දියාවට ගිය ප්‍රමාණය 75 ක් දක්වා වැඩි වී ඇතැයිද එරට ආරක්ෂක අංශ විසින් වැඩි දුරටත් පෙන්වා දෙනවා.

රාමේෂ්වරන් මුහුදු ප්‍රදේශයට ඊයේ දින අනවසරයෙන් ඇතුල්වී ආරක්ෂක අංශ භාරයට පත්ව ඇත්තේ යාපනය ආනෙයිකෝට්ටෙයි සහ කාක්කෙයිතීවු ප්‍රදේශයේ පදිංචි පවුල් 5 කට අයත් පුද්ගලයින් 15 දෙනෙක්.

මෙම පිරිස අතර කුඩා ළමුන් තිදෙනෙකුද වන අතර ඔවුන් පසුගිය 24 වනදා නෙඩුන්කේනි මුහුදු තීරයෙන් ධීවර යාත්‍රාවක් මාර්ගයෙන් මුහුදු මාර්ගයන් ඔස්සේ ඉන්දියාවේ ධනුෂ්කොඩි මුහුදු වෙරලට පැමිණීමෙන් අනතුරුව රාමේෂ්වරන් වෙරලාරක්ෂක නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගත් බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණා.

කිසිදු ආරක්ෂාවක් නොමැතිව කුඩා යාත්‍රාවල ගැබිනි කාන්තාවන් ඇතුලු කුඩා ළමුන්ද රැගෙන මුහුදු ගමන් ඔස්සේ ඉන්දියාවට පැමිණීම දැඩි අවධානම් තත්වයක් බවටත් පැමිණි පිරිස් සරණාගත කඳවුරු වෙතට යොමු කිරීමට පියවර ගෙන ඇති බවටද ඉන්දීය ආරක්ෂක අංශ විසින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙලෙස දිනෙන් දින ඉන්දියාවට පලා යන පිරිස් එරට ආරක්ෂක අංශ වෙතට පවසා ඇත්තේ ශ්‍රීලංකාවේ පවතින දැඩි ආර්ථික අගහිගකම් හේතුවෙන් තමන්ට ජීවත් වීමට නොහැකි වීම මත මෙලෙස ගෙවල් දොරවල් දමා පැමිණි බවයි.