hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 19, පෙ.ව. 10:47



ඖෂධ හෝ එන්නත් ලබා දීමේදී ඇතිවිය හැකි අසාත්මිකතා වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මෙම දැනුවත් කිරීම අසාත්මිකතා හඳුනා ගැනීම, වළක්වා ගැනීම හා එවැනි තත්ත්වයකදී ප්‍රතිකාර කිරීම යන අංශ ඔස්සේ ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පැවසුවා.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී පෙරේදා (17) රාත්‍රි විශේෂ සාකච්ඡාවක් පැවති බවත්, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, හදිසි ප්‍රතිකාර සිදුකරන වෛද්‍යවරුන් ඇතුළු අංශ ගණනාවක නියෝජිතයන් ද සහභාගි වූ බව වෛද්‍ය විජේසූරිය මහතා සඳහන් කළා.

මෙහිදී අසාත්මිකතා ඇතිවූ විට වැළැක්වීම, හඳුනා ගැනීම, ඖෂධ දෙන නියමිත මාත්‍රා සාන්ද්‍රණ, ඒවා ලබා දෙන වාර ගණන මෙන්ම ඖෂධ ලබාදෙන ආකාරය පිළිබඳව කාර්ය මණ්ඩල දැනුවත් කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළා.

එමෙන් ම, එවැනි අසාත්මිකතා ඇතිවූ විට එයට ප්‍රතිකාර කිරීමේදී ගතයුතු පියවර ගැන ද එහිදී සාකච්ඡා වූ බව කී විජේසූරිය මහතා, මෙම වැඩපිළිවෙළේදී සිදුවන්නේ නව ක්‍රියාමාර්ගයක් ගැනීම නොව සෞඛ්‍ය කාර්ය මණ්ඩල සතු දැනුම වඩ වඩාත් තියුණු කිරීම බවද පැවසුවා.

“රට පුරා ස්ථාන කිහිපයක ම පසුගිය දිනවල අසාත්මිකතා ගැන වාර්තා වුණා. එවැනි අවස්ථා හේතුවෙන් ජනතාව තුළ සෞඛ්‍ය සේවාව ගැන තියෙන විශ්වාසය පළුදු වෙන්න පුළුවන්. ඒ නිසා රෝගීන් රෝගයකට ප්‍රතිකාර ගන්න රෝහලකට නොගිහින් ඉන්න ඉඩ තියෙනවා. එය ජීවිත හානියකට වුණත් ඉඩ තියෙන දෙයක්. මෙම වැඩපිළිවෙළ ගැන හිතුවේ මේ නිසයි,” යැයි ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තවදුරටත් කියා සිටියා.